කොස්තාපල් පුඤඥසෝම !
1 min read
මේ ඉන්නේ කොස්තාපල් පුඤඥසෝම නොවේ ය. කොස්තාපල් පුඤඥසෝමට මොනවා නැතත් “ගට” තිබ්බේ ය. මේ ඉන්නේ පට්ට පදිරි බියගුල්ලෙක් ය. නමින් ඔහු මෙසිරිලක පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ය.
වීරසූරිය කීවාට, මොහුගේ ඇති වීරකමක් හෝ සූරකමක් ඇත්තේම නැත. ජනාධිපති අනුර කුමාර මේ වීරසූරියව පොලිස්පති බවට පත් කළේ ඔහුට ඉහලින් සිටි පොලීසියේ ජ්‍යෙෂ්ඨයන් නොසලකා හැරලා ය. ජනාධිපති අනුරට උවමනා වූයේ ලෙහෙසියෙන් හීලෑ කරගතහැකි සත්වයෙක් ය. ඒ අනුව තේරීම වුනේ මේ ප්‍රියන්ත වීරසූරිය ය.
පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනුනේ “වත්මන් පොලිස්පතිවරයා මහ පාරේ මිනිසුන්ගෙන් ගුටි කන මිය යන පොලිස්පතිවරයා ලෙස ඉතිහාසගතවනවා දැකීමට තමන් අකමැති බව” කී නිසා ය. ඔහුව අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරන “බී වාර්තාවේ” සටහන්ව ඇත්තේ සාගරගේ මෙම ප්‍රකාශයෙන් වීරසූරිය පොලිස්පතිවරයාට මරණ බිය ඇති වූ බවය. එම බී වාර්තාවට අනුව සාගර පොලිස්පතිවරයාට එල්ල කර ඇත්තේ මරණ තර්ජනයක් ය.
කෙනෙකුට මරණ බියක් ඇතිවිය හැක්කේ කෙසේද? අප කර තිබෙන හැදෑරීම අනුවනම් කාංසාව සහ භීතිකාවන් (Anxiety & Panic Disorders) නිසා එසේ විය හැකිය. අවට වටපිටාව ගැන අධික ලෙස බියවන පුද්ගලයන්ට ක්ෂණිකව ඇතිවන තත්ත්වයන් සමඟ තමා මියයන්නට යනවා වැනි දැඩි බියක් ඇතිවිය හැකිය. එමෙන්ම, විෂාදය නැමැති රෝග තත්ත්වයට ලක් වූ අයකුට ද, ජීවිතය පිළිබඳ බලාපොරොත්තු සුන්වීම සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය නිසා මරණය ගැන නිතර සිතෙන්නට හැකිය. තවත් අයකුට තමන් ඊට පෙර මුහුණ දුන් ජීවිතය දරුණු තර්ජනයක් ජනිත කරලන ලද අවස්ථාවක් පිළිබඳ මතකය හේතුකොටගෙන මරණබිය නැවත නැවතත් ඇති විය හැකිය.
සුවකළ නොහැකි දරුණු රෝගයකින් පෙළෙන ඇතැමුන්ට ද මේ බිය පොදුය. වයස්ගත වූ ඇතැමුන් ද ආයු කාලය අවසන් වන බව දැනී සිටින්නේ මරණ බියෙන් ය.
එහෙත්, මෙසිරිලක වෙසෙන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට මරණබය ඇති වී තිබෙන්නේ, සාගරගේ ප්‍රකාශයක් හේතුකොටගෙන ය. සාගර වැන්නකුගේ ප්‍රකාශයකින් ද ලංකාවේ පොලිස්පතිට මරණ බිය ඇතිවන්නේ නම් කංජිපානිලාගේ ප්‍රකාශවලින් ඔහුට ඇති විය හැක්කේ මරණයම ය.
සාගර කරන ලද ප්‍රකාශය නම්, “මහ පාරේ මිනිසුන්ගෙන් ගුටිකා මැරෙන පොලිස්පතිවරයා ලෙස වාර්තා වනු දැකීමට” තමන් අකමැති බවය. මේ ප්‍රකාශයෙන් රටේ පොලිස්පතිට මරණ බිය ඇතිව තිබේ. එබඳු ප්‍රකාශයකින් මරණබිය ඇති වන්නේ බියගුල්ලන්ට ය. ඒ අනුව වැටහෙන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් පොලිස්පති පට්ට බියගුල්ලකු බවය.
බියගුළුබව ශ්‍රී ලංකා පොලිස් ආඥා පනතේ (Police Ordinance) 83 වන වගන්තිය අනුව සෘජු නීතිමය වරදක් වේ. එම වගන්තිය යටතේ දැක්වෙන්නේ “බියගුළුබව සහ දඬුවම්” ගැනය. බියගුළුබව නිසා සේවයෙන් නෙරපා හරින ලද පොලිස් නිලධාරින් පිළිබඳ උදාහරණ මෙරට මෙන්ම පිටරටත් දක්නට ඇත.
ශ්‍රී ලංකා පොලිස් ආඥා පනතේ 83 වන වගන්තියට අනුව යම් පොලිස් නිලධාරියකු බියගුළුබව සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබුවහොත් ඔහුට ලැබෙන්නේ පහත දැක්වෙන අන්දමේ දඬුවම් ය.
එකක් වන්නේ, මාස 12 ක වැටුප නොඉක්මවන දඩ පැනවීමක් ය. තව එකක් වන්නේ කටුක ශ්‍රමය සහිතව හෝ රහිතව මාස 12 ක් දක්වා වූ බන්ධනාගාරගත කිරීමක් ය. අනෙක වන්නේ ඉහත සඳහන් දඩය සහ දඬුවම යන දෙකම එකවර පැනවීම ය. ඊට අමතරව, මෙම චෝදනාවට වරදකරු වූ නිලධාරියකුව සේවයෙන් නෙරපා හැරීමද විනය ක්‍රියාමාර්ග යටතේ සිදුකළ හැකිය.
සාගර කාරියවසම්ව අත්අඩංගුවට ගෙන කඩුවෙල උසාවියට ඉදිරිපත් කර තිබෙන “බී වාර්තාවෙන්” පොලිස්පති මරණබියට ලක්කර තිබෙන බව පිළිගෙන හමාර ය. එවැනි ප්‍රකාශයකින් මරණබිය ඇතිවන්නේ බියගුළු පුද්ගලයන්ට බව දැන් ඉතින් පැහැදිලි ය. බියගුළුබවට පොලිස් ආඥා පණතේ 83 වන වගන්තිය දක්වා තිබෙන දඩුවම් ද පැහැදිලිය.
ඉතිරිව ඇති ප්‍රශ්නය වන්නේ එහි ඇති දඬුවම් දෙකෙන් එකක් දෙනවා ද? නොඑසේනම් දෙකම එකවර දෙනවා ද? යන ප්‍රශ්නය පමණක් ය.
ප්‍රියන්ත වීරසූරිය අනුර කුමාරටම ගැලපෙන “පොලොස්-පති” බව දැන් නම් ඉතින් ඔප්පු කර හමාරය. කොස්තාපල් පුඤඥසෝමට ද ඔහුට වඩා “ගට” ඇත්තේ ය.
