September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහනායක හිමිවරු ජනපතිට යැවූ ලිපිය මෙන්න !

1 min read

යෝජිත “සූරසේන රීලෝඩය” හෙවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුලාගන්නා ලෙස දන්වමින් මහානායක හිමිවරු විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය මේ වන විට අණාවරණය වී තිබේ. ත්‍රෛයි නිකායික මහානායක හිමිවරු සිවුනම විසින්ම අත්සන් තබා ඇති එම ලිපියේ සඳහන් දිනය වන්නේ 2026.07.31 ය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මෙය ජනමාධ්‍යයට නොදී සිටිය ද මේ වන විට එය මහානායක හිමිවරු විසින්ම ප්‍රසිද්දියට පත්කර ඇත. මේ සමග එය දක්වා තිබේ.

2026.07.31

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු මුවදොර, කොළඹ 01.

අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ
විනිසුරුවරුන්ලාගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය
ගෙන ඇති තීරණය පිළිබඳවයි

ගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ප්‍රධාන යාන්ත්‍රණය වන අධිකරණ පද්ධතියේ ගරු විනිසුරුවරුන්ලාගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට අප වෙත කරුණු වාර්තා වී ඇත.

වර්තමානය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ලාගේ විශ්‍රාම දිවියට එළඹීමේ වයස පිළිවෙලින් අවුරුදු 63 හා 65 ලෙස දක්වා ඇත. එම වයස් සීමාවන් ඉහළ නැංවීමට රජය මේ අවස්ථාවේ කටයුතු කිරීම සුදුසු නොවන බව අපගේ විශ්වාසයයි.

ජනප්‍රිය පුවත්  ස.තො.ස. 100 ක් වැසේ ! ධම්මිකගේ 100 ක් ඇරේ !

එය අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිය පසිඳලීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති කරවීමට හේතු විය හැකි බව අවධාරණය කරනු කැමැත්තෙමු. අධිකරණයෙන් යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් මහජන විශ්වාසය අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය මත පමණක් නොව එම ස්වාධීනත්වය සැකයකින් තොරව විද්‍යාමාන වීම මත රඳා පවතින බව පොදු පිළිගැනීමයි.

එහෙයින් රජය විසින් සිදු කිරීමට අපේක්ෂිත ව්‍යවස්ථා සංශෝධනය මෙරට අධිකරණ පද්ධතියේ සුරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නාර්ථයක් ඇති කරලීමට හේතු වන බවත් මෙම පූර්වාදර්ශය අනාගතයේ දී අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට හේතු විය හැකි බවත් මේ සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කරමින් අධිකරණ විනිසුරුවරුන්ලාගේ සංගමය, නීති විශාරදයින් මෙන්ම සිවිල් සංවිධාන ද පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සම්මත කරන ලද යෝජනා මාලාව තුළින් ද මෙම යෝජිත සංශෝධනයේ ඍණාත්මක බලපෑම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

රටේ නිරසාර සංවර්ධනය හා සමාජ සුරක්ෂාව අරමුණු කරගනිමින් කටයුතු කරන රජයක් සප්ත අපරිහානීය ධර්ම මත ගොඩනැගිය යුතු බව අපගේ පිළිගැනීමයි. නොපැහැදිලි නීති පැනවීම තුළින් සමාජ නොසන්සුන්තාවක් හා රාජ්‍ය ස්ථාවරත්වය පිළිබඳ ඍණාත්මක බලපෑමක් සිදු වන්නේ නම් එවැනි ක්‍රියා කලාපයන්ගෙන් ඈත්ව මහජන විශ්වාසය රාජ්‍ය කෙරෙහි තහවුරු කරන ආකාරයෙන් කටයුතු කිරීම රාජ්‍ය නායකයාගේ වගකීම බව අවධාරණය කරනු කැමැත්තෙමු.

ජනප්‍රිය පුවත්  ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් නෑ…

විශේෂයෙන් ම මේ වන විට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මහජන ප්‍රසාදයක් පවතින පසුබිමක එවැනි සංශෝධනයක් ගෙන ඒම රජය පිළිබඳ ඍණාත්මක අදහස් ප්‍රවර්ධනය කිරීමට ද හේතු විය හැකි අතර ම ගරු විනිසුරුවරුන්ලාගේ ස්වාධීනත්වය පිළිබඳව ද ප්‍රශ්නාර්ථයක් ඇති කර වීමට හේතු විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමු.

එහෙයින් අධිකරණ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පුළුල් වැඩ පිළිවෙලක් අදාල සියලු අංශ සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීම සෝග්‍ය බව ප්‍රකාශ කරන අතරම අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් මෙම අවස්ථාවේ සිදු කිරීමෙන් වැළකී සිටීම සුදුසු බව ගරු ජනාධිපතිතුමන් වෙත හිතාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරනු කැමැත්තෙමු.

ඒ වගත් මෙසේ ම,

(අත්සන)
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන
මහාවිහාරවංශික ස්‍යාමෝපාලී මහානිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර,
මල්වතු මහා විහාරය, මහනුවර.

(අත්සන)
අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී
පඤ්ඤානන්දාභිධාන
මහාවිහාරවංශික ස්‍යාමෝපාලී මහානිකායේ
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර,
අස්ගිරි මහා විහාරය, මහනුවර.

(අත්සන)
අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති අභිධාන
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක
ස්ථවිර, ශ්‍රී ධර්මපාල විද්‍යායතන පිරිවෙන,
මිරිස්වත්ත, බලපිටිය.

ජනප්‍රිය පුවත්  කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?

(අත්සන)
අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්ථවිර,
මිණිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන,
මීරිගම.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x