September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

1 min read

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. ශ්‍රී ලංකාවට ගොඩබට පළමු මොහොතේදීම එතුමා ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිටම ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ලැබීය. එතුමාගේ ලිඛිත ප්‍රකාශය මගින් ” ඉදිරි වසරවලදී, මා සමඟ කටයුතු කරන සගයන් සමඟ එක්ව අපගේ වගකීම් සඳහා මුළුමනින්ම කැපවී, අධිෂ්ඨානශීලීව ඉදිරියට යන්නෙමු. සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීමටත්, ශ්‍රී ලංකාවේ සිටින චීන ආයතන හා චීන පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් අපගේ උපරිමයෙන් කටයුතු කරන්නෙමු.” යනුවෙන් අවධාරණය කරනු ලබයි. ගරු වෙයි හුවාෂියං මහතා කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ සම්පූර්ණ ලිඛිත ප්‍රකාශය පහතින්…

සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!

ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ආදරණීය මිතුරනි, ශ්‍රී ලංකාවේ වෙසෙන ආදරණීය චීන සහෝදර සහෝදරියනි,

“ඉන්දියන් සාගරයේ මුතු ඇටය” ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් මා පත් කිරීම මා හට මහත් ගෞරවයක් මෙන්ම භාග්‍යයක් ද වේ. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන විශිෂ්ට ශිෂ්ටාචාරයකින්, මනස්කාන්ත හා විචිත්‍රවත් ස්වභාව සෞන්දර්යයෙන් සහ කරුණාවන්ත හා ආගන්තුක සත්කාරයෙන් පිරි මෙම සුන්දර දේශය මා තුළ උණුසුම් හැඟීමක් ඇති කරන අතර, ගැඹුරු ආශාවක් හා අගය කිරීමක් ද ජනිත කරයි.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින්නේ දීර්ඝ ඉතිහාසයකින් යුත්, කාලයත් සමඟ තව තවත් ශක්තිමත් වූ සාම්ප්‍රදායික මිත්‍රත්වයකි. මීට වසර දෙදහසකට පමණ පෙර, පුරාණ “සේද මාවත” ඔස්සේ යාත්‍රා කළ නෞකා අප දෙරට අතර පැවති මිත්‍රශීලී හුවමාරුවේ අතිවිශිෂ්ට පරිච්ඡේදයක් සනිටුහන් කළේය. මීට වසර හැත්තෑවකට වැඩි කාලයකට පෙර අත්සන් කළ රබර්-සහල් ගිවිසුම, අසීරු අවස්ථාවලදී අප දෙරට එකිනෙකාට ලබාදුන් සහයෝගය හා සහෝදරත්වයට කදිම සාක්ෂියක් විය.

ජනප්‍රිය පුවත්  මීගමුව බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් අනතුරුව, අප දෙරට සෑම විටම එකිනෙකාගේ දුකේදීත් සැපේදීත් එකට සිටිමින්, අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කර ඇත. “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහන යටතේ මෙන්ම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය කරමින් හා ගැඹුරු කරමින්, චීනයේත් ශ්‍රී ලංකාවේත් මිලියන සංඛ්‍යාත ජනතාවකට ප්‍රතිලාභ සැලසූ සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කරගෙන තිබේ.

දීර්ඝ ඉතිහාසයේ පිටු පෙරළා බලන විට—බෞද්ධ ධර්ම ග්‍රන්ථ සොයා බටහිර දෙසට ගමන් කළ ෆාෂියන් හිමියන්ගේ හුදෙකලා නෞකා ගමනේ සිට, රළ පරයා ඉදිරියට ඇදුණු අද්මිරාල් ෂෙන් හේගේ බලවත් නාවික බලඇණිය දක්වාත්; ෆුජියන් පළාතේ චුවැන්ෂෝ නගරයේ පදිංචි වී විදේශ දේශයක් සිය නිවහන කරගත් ලංකා කුමාරයාගේ කතාවේ සිට, චීන දරුවන් වෙනුවෙන් අලි පැටවුන් තිදෙනෙකු තෑගි කළ ශ්‍රී ලාංකික ජනතාවගේ අවංක සෙනෙහස දක්වාත්; ජීවයේ මූලාශ්‍රය සුරැකීමට දායක වන චීන-ශ්‍රී ලංකා ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා නිරූපණ මධ්‍යස්ථානයේ (JRDC) සිට, දිවයින පුරා පාසල් සිසුන් මිලියන ගණනකට ප්‍රතිලාභ සැලසූ පාසල් නිල ඇඳුම් රෙදිපිළි දක්වාත්—කඳු හා සාගර පරයා, කාලයේ පරීක්ෂණයට මුහුණ දෙමින් පැවත එන චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සෑම විටම උණුසුම් හා හද සනසන ආලෝකයකින් බැබළී ඇත.

මෙම අවස්ථාවේදී, චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය පිළිබඳ සැලකිල්ලක් දක්වමින් සහ එය ශක්තිමත් කිරීමට සහයෝගය ලබාදෙන දෙරටේ විවිධ ක්ෂේත්‍රවල සියලු දෙනා වෙත මාගේ අවංක කෘතඥතාව සහ හෘදයාංගම ගෞරවය පළ කිරීමට කැමැත්තෙමි.

ජනප්‍රිය පුවත්  වත්කම් ප්‍රකාශ භාර ගැනීම නවතයි! නොදුන් අයට දඬුවම්!

චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ අනාගත අපේක්ෂාවන් පුළුල් මෙන්ම සුබදායකය. 2025 වසරේදී, චීනයේ සංචාරය කළ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ ජනාධිපති ෂී ජින්පිං මහතා වෙන වෙනම සාකච්ඡා පැවැත්වූ අතර, වැදගත් එකඟතාවන්ට පැමිණීමත්, සහයෝගීතාව සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමත් සිදුවිය. මෙම ඉහළ මට්ටමේ හුවමාරු අප දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා නව උපායමාර්ගික මඟපෙන්වීමක් ලබා දී තිබේ.

වර්තමානයේ චීන-ශ්‍රී ලංකා සබඳතා අතීතයේ අත්කරගත් සාර්ථකත්වයන් මත පදනම්ව, අනාගතය කරා තවදුරටත් ඉදිරියට යාම සඳහා ඓතිහාසික අවස්ථාවකට මුහුණ දෙමින් සිටී. චීනය සෑම විටම ශ්‍රී ලංකාව සිය අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ප්‍රමුඛ ස්ථානයක තබා ඇත.

අප දෙරට සංවර්ධනය හා පුනර්ජීවනය කරා යන මාවතේ සහෝදර ගමන් සගයන් වන අතර, අන්‍යෝන්‍ය ජයග්‍රහණ සහිත සහයෝගීතාවයේ යහපත් හවුල්කරුවන් ද වෙමු. එමෙන්ම, සැපේදී මෙන්ම දුකේදීත් එකිනෙකා සමඟ සිටින හොඳ සහෝදරයන් හා හොඳ මිතුරන් ද වෙමු.

වර්තමානයේ චීන ජනතාව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ, එහි මහා ලේකම් ෂී ජින්පිං මහතාගේ මූලිකත්වයෙන් යුත් ශක්තිමත් නායකත්වය යටතේ, චීන නවීකරණය ඔස්සේ ශ්‍රේෂ්ඨ රටක් ගොඩනැගීමේ සහ සෑම අංශයකින්ම ජාතික පුනර්ජීවනය ඉදිරියට ගෙන යාමේ දැවැන්ත කාර්යයට කැපවී සිටී.

ශ්‍රී ලංකාව ද ආර්ථික සංවර්ධනය හා ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, “සශ්‍රීක රටක්, සුන්දර ජීවිතයක්” යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරමින් සිටී.

චීනය ශ්‍රී ලංකාව සමඟ උරෙනුර ගැටී ඉදිරියට ගමන් කිරීමටත්, සංවර්ධන උපායමාර්ග අතර සම්බන්ධීකරණය හා ඒකාබද්ධතාව ශක්තිමත් කිරීමටත්, අන්‍යෝන්‍ය සාර්ථකත්වය හා හවුල් සමෘද්ධිය සඳහා පුළුල් අපේක්ෂාවන් විවෘත කිරීමටත් සූදානම්ය. ඒ තුළින් අවංක අන්‍යෝන්‍ය සහයෝගය සහ සදාතනික මිත්‍රත්වය මත පදනම් වූ උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කරමින්, හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනැගීම සඳහා අපි එක්ව කටයුතු කරමු.

ජනප්‍රිය පුවත්  මිලියන 1034ක වැට් බදු පොල්ලට කොළඹ මහ නගර සභාවට එරෙහිව නඩු

ලබන වසරේදී චීනය හා ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සපිරීමත්, රබර්-සහල් ගිවිසුම අත්සන් කර වසර 75ක් සපිරීමත් සමරනු ඇත.

මෙවන් වැදගත් සන්ධිස්ථානයකදී, ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස සේවය කිරීම සඳහා මාගේ මව්බිම හා එහි ජනතාව විසින් මා වෙත පවරා ඇති වගකීම පිළිබඳව මම ගැඹුරින් දනිමි. මෙම වගකීම සමඟ බැඳී ඇති ගෞරවනීය මෙහෙවර සහ වැදගත් වගකීම පිළිබඳව මම ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිමි.

ඉදිරි වසරවලදී, මා සමඟ කටයුතු කරන සගයන් සමඟ එක්ව අපගේ වගකීම් සඳහා මුළුමනින්ම කැපවී, අධිෂ්ඨානශීලීව ඉදිරියට යන්නෙමු. සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීමටත්, ශ්‍රී ලංකාවේ සිටින චීන ආයතන හා චීන පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් අපගේ උපරිමයෙන් කටයුතු කරන්නෙමු.

මෙම කාර්යය සාර්ථකව ඉටු කිරීමේදී චීනයේත් ශ්‍රී ලංකාවේත් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන මිතුරන්ගේ සහයෝගය හා උපකාරය නොමැතිව අපට ඉදිරියට යා නොහැක. ඔබ සැම සමඟ වඩාත් නිරන්තර සම්බන්ධතා පවත්වා ගැනීමටත්, වඩාත් සමීප සන්නිවේදනයක් ගොඩනඟා ගැනීමටත්, තවදුරටත් ගැඹුරු මිත්‍රත්වයක් වර්ධනය කර ගැනීමටත් මම බලාපොරොත්තු වෙමි. එමෙන්ම, ඔබගේ අදහස් හා යෝජනා ද සාදරයෙන් පිළිගනිමි.

චීන-ශ්‍රී ලංකා සබඳතාවල දීප්තිමත් අනාගතයක් උදා කිරීම සඳහා අපි අත්වැල් බැඳගෙන නොනවතින උත්සාහයක නිරත වෙමු.

ඔබ සැමට ස්තුතියි!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x