ළමා ආරක්ෂණය උදෙසා මෙටා සමාගමෙන් ඩොලර් බිලියන 18ක වන්දියක්.. නඩුව සමථයකට..
1 min read
ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) මාධ්‍ය ජාලයන් මගින් ළමයින්ට සිදු වූ මානසික හානි සහ ඇබ්බැහි වීම් මුල් කරගනිමින් ඇමෙරිකානු ප්‍රාන්ත 29ක් විසින් පවරා තිබූ නඩුව සමථයකට පත්කර ගැනීමට එහි මවු සමාගම වන මෙටා (Meta) එකඟ වී තිබේ.
මේ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක වන්දි මුදලක් ගෙවීමට මෙටා සමාගම එකඟ වී ඇති අතර, ඊට අදාළ නඩු කටයුතු අත්හිටුවීමට සහ එකඟතාවයට අනුමැතිය දීමට අදාළ විනිසුරුවරයා සූදානමින් පසුවේ.
නව යොවුන් වියේ පසුවන්නන්ට දිනපතා යෙදුම් (Apps) භාවිත කළ හැකි කාලය සීමා කිරීම, රාත්‍රී කාලයේදී යෙදුම් භාවිත කිරීම වැළැක්වීමේ ආරක්ෂිත පියවරයන් හඳුන්වාදීමට මෙහිදී එකඟවී තිබේ.
ඉදිරි මාස කිහිපය තුළ මෙම නව යාවත්කාලීන කිරීම් පද්ධතියට එක්කරන බව කැලිෆෝනියා නීතිපතිවරයා සඳහන් කරයි.
මෙම තීරණය තරුණ පරපුරේ ආරක්ෂාව සහ දෙමාපියන් සවිබල ගැන්වීම උදෙසා ගත් වැදගත් පියවරක් බව පවසන මෙටා සමාගම, TikTok සහ YouTube වැනි සසුදුසු අනෙකුත් සමාජ මාධ්‍ය ජාලයන්ගෙන්ද මෙවැනිම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියි.
මේ වසරේ දෙවන කාර්තුවේදී (අප්‍රේල් – ජූනි) පමණක් ඩොලර් බිලියන 61ක ආදායමක් ලබා ඇති මෙටා සමාගමට මෙම වන්දි මුදල දැඩි මූල්‍ය බලපෑමක් එල්ල කර නොමැති අතර, නඩුව සමථයකට පත්වීමේ පුවතත් සමග කොටස් වෙළෙඳපොළ තුළ මෙටා සමාගමේ කොටස් අගය ඉහළ ගොස් ඇත.
