September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවේ ධාන්‍ය හිඟය පියවන්න තවත් ටොන් ලක්ෂ 17ක් ගෙන්වීමට සිදුවන ලකුණු.. – FAO අනාවරණය කරයි..

1 min read

මෙරට වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 53ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබුණද, දේශීය අවශ්‍යතාව සම්පූර්ණයෙන් සපුරාලීම සඳහා තවත් ධාන්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 17ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුවන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසයි.

එම සංවිධානයේ ‘ගෝලීය තොරතුරු හා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය’ මගින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මෙලෙස ආනයනය කිරීමට සිදුවන ධාන්‍ය අතරින් වැඩි ප්‍රමාණයක් තිරිඟු වන අතර, ජනගහන වර්ධනය සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

මෙවර ධාන්‍ය නිෂ්පාදනය පසුගිය වසර 5ක සාමාන්‍ය අගයට වඩා සියයට 9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, පසුගිය ‘මහ’ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 28ක අස්වැන්නක් ලබා ගැනීමට හැකිවූ අතර ‘යල’ කන්නයේ අස්වනු නෙළීම මේ දිනවල සිදුකෙරේ. මීට අමතරව, මෙවර බඩඉරිඟු නිෂ්පාදනය ද මෙට්‍රික් ටොන් 450,000ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, නිෂ්පාදනය ඉහළ ගියද නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් ගොවීන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බව FAO වාර්තාව පෙන්වා දෙයි.

ජනප්‍රිය පුවත්  රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහකරයි

විශේෂයෙන්ම රතු මුහුදේ පවතින නාවික ප්‍රවාහන බාධා නිසා ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ඉහළ යාම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අස්වනු නෙළීමේ හා ප්‍රවාහන කටයුතුවලට යන වියදම සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.

තවද, එල්-නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ඉන්දියාවේ වර්ෂාපතනය සියයට 35කින් පමණ අඩුවීම ද ලෝක ධාන්‍ය නිෂ්පාදනයට සහ ආහාර සැපයුමට බලපෑම් එල්ල කර ඇති අතර, මේ හේතුවෙන් 2022 වසරෙන් පසු ලෝක ආහාර මිල ගණන් ඉහළම මට්ටමකට පැමිණ ඇති බවට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැඩිදුරටත් අනතුරු අඟවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x