එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. – මෙරට ගැන වාර්තාවක් අද..
1 min read
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ජිනීවා නුවරදී ඊයේ පස්වරුවේ ආරම්භ විය.
මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවක් අද මෙම සැසියට ඉදිරිපත් කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් සිදු කිරීමට නියමිතය.
එළැඹෙන ඔක්තෝබර් මස 07 වනදා දක්වා පැවැත්වෙන මෙම සැසිවාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ දේශනයෙන් ආරම්භ කරනු ලැබීය.
එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් යළිත් ජාත්‍යන්තර අවධානය යොමුව ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ මුලික පිටපතක් පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරිණි.
මෙම වාර්තාවේ සඳහන් පරිදි, වත්මන් රජය බලයට පත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ වගවීම වැනි විශාල වෙනස්කම් සිදුකිරීමේ පොරොන්දුව මත බව සිහිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය නිර්දේශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා අත්හිටුවීමේ කාල සීමාවක් පනවා එය ඉක්මනින් අහෝසි කර නව නීතියක් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසටයි.
උතුර සහ නැගෙනහිර පළාත්වල හමුදාව භාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම, තවදුරටත් ඉඩම් පවරා ගැනීම් නැවැත්වීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගුකාලීනව රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම ද මෙම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
මීට අමතරව, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාකරන මාර්ගගත සුරක්ෂිතතා පනත, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සහ කෙටුම්පත් කර ඇති NGO පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම ද අදාළ නිර්දේශ අතර වේ.
