මරික්කාර්, මුජිබර්, අලවතුවල ටිල්වින් සමඟ රහස් හමුවක් !
1 min read
සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් ඇතුළු එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක්, පසුගියදා කොළඹ පෞද්ගලික නිවසකදී ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මුණගැසී සාකච්ඡා කර ඇතැයි අපගේ පැලවත්ත ආරංචිමාර්ග පවසයි.
අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආණ්ඩුව සමඟ එක්වීමට තමන් සූදානම් බවත්, එය තීරණය කළ යුත්තේ ආණ්ඩුව විසින් බවත්, එතෙක් විපක්ෂයේ සිට ලබාදිය හැකි සහයෝගය වක්‍රව ලබාදීමට තමන් කටයුතු කරන බවත් එහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු තිදෙනා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවේ ශපථ කර තිබේ.
එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා මෙම ගනුදෙනුවට යොමු කර ඇත්තේ මහරාජා ආයතනයේ විධායක නිලධාරී ෂෙවොන් ඩැනියල් විසිණි. මෙම හමුව සඳහා එක් වූ ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට ඒ සඳහා බලපා ඇත්තේ, මෑතකදී පොලිස් අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනකු විසින් දෙන ලද ප්‍රකාශ තුළ, ඔවුන් විසින් මුදල් ලබාදුන් අයගේ නම් අතර මුජිබර් රහුමාන්ගේ නම ද ඇතුලත්ව පැවතීමයි.
මෙයට සහභාගි වූ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික් ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල ය. ඔහුගේ බෑනා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අතර වර්ධනය වී ඇති නව ව්‍යාපාරික හිතවත්කම මත ඔහු ද මෙම හමුවට එක්වී ඇතැයි පැවසේ.
මෙහිදී, දෙපාර්ශවය අතර සමීප අදහස් හුවමාරුවක් තබා ගන්නත්, සුදුසු අවස්ථාවේදී එක්ව කටයුතු කිරීමත් අරමුණුකොටගෙන ඉදිරියට යාමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි පැවසේ.
මෑතක සිට, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ආණ්ඩුවට එරෙහිව ප්‍රහාරාත්මක කතා නොපවත්වන්නේත්, එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා විපක්ෂ සමගිය බිඳ දැමීමට බලපාන අන්දමේ ප්‍රකාශ නිකුත් කරනුයෙත් ආණ්ඩුවේ සැලසුම අනුව බව අපගේ ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දේ.
- ජයන්ත වීරමුණි
