October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. – ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

1 min read

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) හේතුවෙන් රටට හිමි GSP+ යුරෝපා බදු සහනය දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙයි.

දශක හතරකට වැඩි කාලයක් පුරා අවභාවිත වූ පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට මෙම නව පනත ගෙන ආවද, විචාරකයින් සහ නීති විශාරදයින් පෙන්වා දෙන්නේ මර්දනකාරී නීතිමය ක්‍රමවේදයන් තවදුරටත් මෙහි අන්තර්ගත වන බවයි.

පුළුල් හා අපැහැදිලි ත්‍රස්තවාදී අර්ථ දැක්වීම්, ජනාධිපතිවරයාට හිමි සංවිධාන තහනම් කිරීමේ ඒකාධිකාරී බලය, අධිකරණ අධීක්ෂණයකින් තොරව හමුදාවට පොලිස් බලතල ලැබීම සහ දීර්ඝ කාලීන රඳවා තබා ගැනීමේ නියෝග වැනි කරුණු හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන් බරපතල ලෙස උල්ලංඝනය වන බව සඳහන්.

ශ්‍රී ලංකාවේ සමස්ත භාණ්ඩ අපනයනයෙන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් දරන ඇඟලුම් කර්මාන්තය, වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් රටට ගෙන එන බවත්, යුරෝපා සංගමය යනු මෙම අපනයනවලින් 30%කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා අතිශය තීරණාත්මක වෙළෙඳපොළක් බවත් එම සංසඳයේ නිවේදනයේ සඳහන්.

ජනප්‍රිය පුවත්  නෝට්ටු මුද්‍රණය කිරීම සහ මුදල් අච්චු ගැසීම කියන්නේ දෙකක්.. - මහ බැංකු අධිපති

2026 වසරේ මුල් භාගය තුළ යුරෝපා සංගමය වෙත සිදුකළ ඇඟලුම් අපනයනය 2025 වසරට සාපේක්ෂව 8%කින් පහත වැටී ඇති අතර, එම කාලය තුළ චීනයෙන් සහ වියට්නාමයෙන් යුරෝපය සිදුකළ ආනයන පිළිවෙළින් 5%කින් සහ 9%කින් ඉහළ ගොස් ඇති බව එම සංසඳය පෙන්වා දෙයි.

මේ හරහා ශ්‍රී ලංකාවට සිය වටිනා වෙළෙඳපොළ කොටස ක්‍රමයෙන් අහිමි වෙමින් පවතින බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

යුරෝපා සංගමය විසින් ලබා දෙන GSP+ බදු සහනය යනු ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා බදු රහිතව එරට වෙළෙඳපොළට ඇතුළු වීමට ඇති එකම මඟ වන බවත්, එහෙත් එය මානව හිමිකම්, සේවක අයිතිවාසිකම් සහ පරිසරය සුරැකීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ දැඩි කොන්දේසිය මත රඳා පවතින බවත් පෙන්වා දෙන එම සංසඳය, ඉදිරි 2027-28 වසරවලදී මෙම සම්මුතීන් සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නැංවෙන අතර, 2027 වසරෙන් අවසන් වන වත්මන් GSP+ සහන කාලසීමාවෙන් පසු නව වෙළෙඳ චක්‍රය සඳහා නැවත අයදුම් කළ යුතු බව සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම පනත වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, නව අයදුම්පත ප්‍රතික්ෂේප වීමට එය ප්‍රධානතම බාධකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවට ඔවුන් අදහස් දක්වයි.

ජනප්‍රිය පුවත්  ඉරාන ඇමරිකා යුද්ධය සෘජූ කලාපීය භූ දේශපාලන ගැටුමක් දක්වා!

පනත් කෙටුම්පතේ පළමු කියවීම ඔක්තෝබර් 6 වැනිදා සිදු වූ අතර, නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට පෙර එය සම්මත කර ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයට නීතියේ ව්‍යවස්ථාපිතභාවය පිළිබඳව පමණක් තීන්දු ලබා දිය හැකි බැවින්, පනතේ ඇති අඩුපාඩු නිවැරදි කර ගැනීමට ඇති එකම ප්‍රායෝගික ක්‍රමය වන්නේ කාරක සභා අවස්ථාවේදී අවශ්‍ය සංශෝධන සිදු කිරීම බවත් එම සංසඳය සඳහන් කරයි.

රටකට ආරක්ෂක බලතල අවශ්‍ය වුවද, රඳවා තබා ගැනීමේ නියෝග අනුමත කිරීමට පෙර මහේස්ත්‍රාත්වරුන්ට සාක්ෂි පරික්ෂා කිරීමට ඉඩ සැලසීම, සංවිධාන තහනම් කිරීමේදී අධිකරණ මැදිහත්වීමක් ලබා දීම සහ අත්අඩංගුවට ගැනීම් සිවිල් පොලිසියට පමණක් පැවරීම වැනි සරල පියවරයන් හරහා මෙම ගැටළුව විසඳා ගත හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙන බවත්, පනත සම්මත වීමෙන් පසු එය නිවැරදි කිරීමට යාම අතිශය පාඩු සහගත වනු ඇති බැවින්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවනෝපාය සහ රටේ ආර්ථික අනාගතය සුරක්ෂිත කිරීම සඳහා පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇතැයි JAAF සංගමය දැඩිව අවධාරණය කර සිටි.

ජනප්‍රිය පුවත්  මහින්දගේ නම කියවගත්තේ, තර්ජනය කරලා! ශ්‍රීලන්කන් හිටපු CEOගෙන් දිවුරුම් ප්‍රකාශයක්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x