අක්කර 10ක ඉඩම් ගිවිසුමේ ගැටලු නිසා ඩොලර් මිලියන 280ක වරාය ව්යාපෘතිය අත්හැරියා.. – ඇමති බිමල් රත්නායක
1 min read
චීන සමාගමක් සම්බන්ධ වන ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක සැපයුම් පද්ධති ව්යාපෘතිය අත්හැර දැමීමට රජය තීරණය කිරීමට බලපෑ ප්රධාන හේතුව වූයේ, කොළඹ වරායෙන් අක්කර 10ක ඉඩම් ප්රමාණයක් වෙන් කිරීමට අදාළ ගිවිසුමේ පැවති ගැටලුකාරී තත්ත්වය බව අමාත්ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම යෝජිත ගිවිසුම මඟින් කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර බහාලුම් පර්යන්ත අතර පිහිටි අක්කර 10ක බිම් කොටසක් අදාළ සමාගම වෙත වෙන් කිරීමට යෝජනා වී තිබිණි.
යෝජිත ආයෝජනය සඳහා රජයේ සහයෝගය හිමි වුවද, අදාළ ගිවිසුමට එළඹ තිබූ ආකාරය පිළිබඳව ගැටලු සහ සැකසංකා පවතින බව අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
තමන් ධුරයේ වගකීම් භාරගැනීමෙන් අනතුරුව, අදාළ සමාගමේ ජ්යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡා සඳහා ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගැනීම ඇතුළුව මෙම ව්යාපෘතිය පහසු කිරීම සඳහා පෞද්ගලිකවම මැදිහත් වී කටයුතු කළ බවද ඔහු මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව සමාගමේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වා ආයෝජනයට රජයේ සහයෝගය හිමිවන බව පැහැදිලිව ප්රකාශ කළ බවත්, කෙසේ වෙතත් නිසි ක්රමවේද අනුගමනය කර නොතිබූ බැවින් දැනට පවතින ගිවිසුම යටතේ ඉදිරියට යාමට හැකියාවක් නොතිබූ බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
එසේම, රජයේ මෙම ක්රියාකලාපය නිසා ආයෝජකයන් ඉවත් වී යන බවට එල්ල වන චෝදනා ප්රතික්ෂේප කළ ඔහු, සැකසංකා සහිත ගිවිසුම් යටතේ ආයෝජන ඉදිරියට ගෙනයාම මඟින් අනාගත අනෙකුත් ආයෝජකයන් ද උනන්දුවක් නොදක්වන තත්ත්වයක් ඇති විය හැකි බව පෙන්වා දුන්නේය.
කොළඹ වරායේ යෝජිත ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක සැපයුම් පද්ධති ව්යාපෘතිය ඉදිරියට නොයන බව ශ්රී ලංකා වරාය අධිකාරිය තහවුරු කිරීමෙන් අනතුරුව අමාත්යවරයා මෙම අදහස් පළ කළේය.
