යට ඇදුමේ හිල් කියූ ඇමති කෙනෙකුගේ දුව ඉගෙනීමට එංගලන්තයට යවලා.. වසර හතරේම ගාස්තු එකවර ගෙවලා.. – රාජිත හෙළිකරයි
1 min read
වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන්ගේ ජීවන රටාවේ සිදුව ඇති ක්ෂණික වෙනස පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
විශේෂයෙන්ම, තමන්ට යට ඇඳුමක් පවා මිලදී ගැනීමට වත්කමක් නොමැති බවත්, බැනියමේ හිල් තිබූ නිසා එය වැලේ වැනීමට පවා ලැජ්ජා වූ බවත් පැවසූ වර්තමාන ඇමතිවරුන්ගේ අද තත්ත්වය ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
එවැනි ඇමතිවරයෙකුගේ දියණියක් මේ වන විට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන බවත්, එහි සිව් වසරක සම්පූර්ණ ගාස්තු එකවර ගෙවා ඇති බවත් රාජිත සේනාරත්න මහතා අනාවරණය කළේය.
ඇය පදිංචිව සිටින නිවසේ මාසික බෝඩිං ගාස්තුව පමණක් පවුම් 1,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ) වන බවද ඔහු අනාවරණය කළේය.
මෙම මුදල් උපයාගත් ආකාරය පිළිබඳව ප්‍රශ්න කරන විට, “මගේ සල්ලිවලින් මම දරුවාට උගන්වනවා, තමුසෙලාට තියෙන අමාරුව මොකක්ද?” යනුවෙන් ඔහු පවසන බව සේනාරත්න මහතා සඳහන් කළේය.
අතීතයේ පැවති අසරණභාවයට සාපේක්ෂව මෙතරම් විශාල ධනස්කන්ධයක් කෙටි කාලයක් තුළ රැස්කර ගත්තේ කෙසේද යන්න අද වන විට විශාල ගැටලුවක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම වත්මන් පාලනය ක්‍රියාත්මක වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සකස් කළ ආර්ථික හා දේශපාලනික මාවතේ බවත්, මාලිමාවේ විධායක සභික ලාල් විජේනායක මහතා පවා වර්තමාන ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳව නොසතුටින් පසුවන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
