‘යක්ෂ රාජ වජිරපාණී’ ගීතය ලිවුවේ මමයි.. තවත් පහක් එනවා..- රචක හිමියන් මාධ්ය හමුවේ..
1 min read
මෑතකදී සමාජ මාධ්ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වෙමින් ඉමහත් ජනප්රියත්වයක් ලැබූ ආන්දෝලනාත්මක පද්ය නිර්මාණයක් වන ‘යක්ෂ රාජ වජිරපාණි’ සම්බන්ධයෙන් එහි රචක හිමියන් විසින් විශේෂ මාධ්ය හමුවකදී අනාවරණයක් සිදු කර තිබේ.
යූටියුබ් නාලිකාවක පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම කරුණු අනාවරණය කළහ.
මෙම පද්ය පංතිය රචනා වීමට මුල් වී ඇත්තේ බන්ධනාගාරගතව සිටි පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමෙන් සරසා අධිකරණය වෙත රැගෙන ඒමේ සිදුවීමයි.
එම දැකීමෙන් මහත් සංවේගයට පත් වූ, රට සහ ජාතිය පිළිබඳ හැඟීමක් ඇති පිරිසක් සමඟ පැවති දීර්ඝ කතිකාවක ප්රතිඵලයක් ලෙස මෙම නිර්මාණය බිහි වූ බව උන්වහන්සේ පවසති.
මෙම නිර්මාණය සඳහා තේරවාදී මෙන්ම මහායාන බුදුදහමේ එන ‘වජ්රපාණී’ සංකල්පය පාදක කරගෙන ඇති අතර, සච්චක සූත්රයේදී සච්චක තම පරාජය භාර නොගත් අවස්ථාවේ, බුදුරජාණන් වහන්සේට උපකාර පිණිස ශක්ර දේවේන්ද්රයා වජ්රපාණී වේශයෙන් පෙනී සිටි සිද්ධිය මෙයට මූලික පදනම වී වූ බවත් උන්වහන්සේ පවසති.
ඇතැම් පාර්ශ්ව මෙම නිර්මාණය ‘වස් කවියක්’ ලෙස හඳුන්වමින් නොසන්සුන් වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ, මෙම නිර්මාණයෙන් කිසිවෙකු කලබලයට පත්වන්නේ නම්, එයින් පැහැදිලි වන්නේ ‘පුහුල් හොරා කරෙන් දැනේ’ යන න්යාය අනුව ඔවුන්ගේ හෘද සාක්ෂියේ පවතින වරදකාරීත්වය බව පෙන්වා දුන්හ.
එසේම, චීවරයට නිගා කරමින් සහ බොරුවෙන් බලයට පැමිණ කටයුතු කරන පාර්ශ්වයන්ට එරෙහිව නැඟුණු සාධාරණ හඬක් මෙහි අන්තර්ගත බව උන්වහන්සේ අවධාරණය කළහ.
වර්තමානයේ සමාජගත වී ඇත්තේ සමස්ත නිර්මාණ ව්යාපෘතියේ මතුපිට කොටසක් බඳු ඉතා සුළු කොටසක් පමණක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ඉදිරියේදී මෙහි තවත් ප්රබල කොටස් පහක් එළිදැක්වීමට සැලසුම් කර ඇති අතර, එමඟින් සමාජය තුළ දැවැන්ත පිබිදීමක් සහ විප්ලවීය වෙනසක් අපේක්ෂා කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්රකාශ කළහ.
