ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා ප්‍රබල දේශපාලනඥයෙක් වීඩියෝ තාක්ෂනයෙන් නිරීක්ෂණය කරාලා
1 min read
බන්ධනාගාරය තුළදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කිරීම සිදුකර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
කොළඹ අද (12) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට කළු ඇඳුමින් සැරසී එක්ව සිටි ඔහු තවදුරටත් කියා සිටියේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ජංගම දුරකතනයකින් වෙනත් ස්ථානයක සිටින අයෙකුට නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබාදී තිබූ බවය.
ඥානසාර හිමියන්ගේ ඉල්ලීමක් අනුව පසුගිය ඔක්තෝබර් 08 වැනිදා තමන් වැලිකඩ බන්ධනාගාරයට ගිය බවත්, එහිදී චීවරය ඉවත් කර ජම්පරේ ඇන්දවීමට උත්සාහ කළ ආකාරය පිළිබඳව උන්වහන්සේ තමන්ට පැහැදිලි කළ බවත් ගම්මන්පිල සඳහන් කළේය.
2018 වසරේදී ද මෙවැනිම සිදුවීමක් ඇති වූ බවත්, එහිදී ඥානසාර හිමියන් විරෝධය පළ කිරීම හේතුවෙන් නිලධාරීන් එම උත්සාහය අත්හැර දැමූ නමුත් මෙවර නිලධාරීන් පිරිසක් එක්ව උන්වහන්සේට බලහත්කාරයෙන් ජම්පරේ ඇන්දවීමට උත්සාහ කර ඇති බවත් ඔහු පැවසීය.
එම අවස්ථාවේදී එක් බන්ධනාගාර නිලධාරියෙකු සිය ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කර වෙනත් ස්ථානයක සිටින පුද්ගලයෙකුට එම සිදුවීම නිරීක්ෂණය කිරීමට අවස්ථාව සලසා දී තිබූ බව ඥානසාර හිමියන් තමන්ට පැවසූ බව ද ගම්මන්පිල අනාවරණය කළේය.
ඒ අනුව, ඥානසාර හිමියන්ට ජම්පරේ ඇන්දවීම සිදුව ඇත්තේ උන්වහන්සේගේත්, අදාළ නිලධාරීන්ගේත් බලවත් අකමැත්ත මත ජාතික ජන බලවේගයේ ඉහළ නායකයන්ගේ බලපෑමක් මත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මෙලෙස සඳහන් කළේය,
”ගලබොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි පසුගිය ඔක්තෝබර් 08 වැනිදා මම උන්වහන්සේ බැහැදකින්න වැලිකඩ බන්ධනාගාරයට ගියා. එතනදී උන්වහන්සේගේ සිවුරු ගලවලා ජම්පර් ඇන්දවීම සිදුවුණේ කොහොමද කියන එක ගැන මට පැහැදිලි කිරීමක් සිද්ධ කළා.
2018 දී වගේම මේ අවස්ථාවෙත් නිලධාරීන් ජම්පර් අන්දන්න උත්සාහ කරද්දී හාමුදුරුවෝ සුපුරුදු පරිදි විරෝධය පළ කළා. නමුත් 2018 දී හාමුදුරුවන්ගේ විරෝධය හමුවේ නිලධාරීන් වැඩේ අතහැරියත් මෙවර නිලධාරීන් වැඩේ අත්හරින්න සූදානම් වුණේ නැහැ. ඒ වෙනුවට නිලධාරීන් විශාල පිරිසක් එකතුවෙලා හාමුදුරුවන්ව බලහත්කාරයෙන් ජම්පරේ ඇන්දවීමේ වෑයමක නිරත වුණා.
මෙතනදී එක නිලධාරියෙක් තමන්ගේ ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කරමින් කවුරුහරි වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට නිලධාරීන් බලහත්කාරයෙන් ජම්පරේ ඇන්දවීමට දරන වෑයම නිරීක්ෂණය කරන්න අධීක්ෂණය කරන්න අවස්ථාව සලසා දුන්නා කියන එක හාමුදුරුවෝ දැකලා තිබුණා. ඒ නිසා හාමුදුරුවන්ට ජම්පර් ඇන්දවීම සිදුවුණේ හාමුදුරුවන්ගෙත්, නිලධාරීන්ගෙත් බලවත් අකමැත්ත තිබියදී මාලිමාවේ ඉහළ නායකයන්ගේ බලපෑම මතයි කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.
අවසාන වශයෙන් තමන්ගේ ඇඟේ ඉතුරු වුණු භික්ෂූත්වය එකම ලකුණ වෙච්ච අඳනකඩය ගලවල අතට ගත්තම හාමුදුරුවෝ දැඩි කම්පාවකට පත්වුණා. නිලධාරීන් ඒ අඳනකඩය භාරගන්න අත් දිගු කරාම හාමුදුරුවෝ මනසේ ඇතිවෙලා තිබ්බ දැඩි කම්පනය නිසා නිලධාරීන්ට අඳනකඩය දෙන්නේ නැතුව අඳනකඩය උඩට විසි කරා. ඒක ඒ ස්ථානයේ කැරකැමින් තිබුණු විදුලි පංකාවේ රැඳී තිබෙනවා. ඥානසාර ස්වාමීන් වහන්සේට ජම්පරේ ඇන්දවීම සිදුවුණේ උන්වහන්සේගෙත්, නිලධාරීන්ගෙත් දෙපාර්ශ්වයම බලවත් අකමැත්ත මත ඉහළින් ආපු බලපෑමක් නිසාය කියන එක අපි අවධාරණයෙන් කියා සිටිනවා.”
