ABU සමුළුවට සිරසට දුන්නේ රජයේ මුදල් නෙමෙයි.. සංචාරක කාර්යංශයේ මුදල්..- ඇමති නලින්ද
1 min read
කොළඹදී පැවති ආසියානු ශාන්තිකර විකාශන සංගමයේ (ABU) වාර්ෂික මහා සමුළුවේ සත්කාරකත්වය දැරූ ‘සිරස’ මාධ්‍ය ජාලය (MTV) වෙත ලබාදී ඇත්තේ මහා භාණ්ඩාගාරයේ මහජන බදු මුදල් නොවන බවත්, එය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන්ම වෙන්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගියදා කොළඹ පෞද්ගලික හෝටලයකදී නිමාවට පත් වූ ආසියානු ශාන්තිකර විකාශන සංගමයේ 61 වැනි මහා සමුළුව වෙනුවෙන් රුපියල් මිලියන 104ක මුදලක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් අනුග්‍රාහකත්වය ලෙස ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත්, එම මුදල් මුදල් අමාත්‍යාංශයෙන් හෝ මහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ මුදල් නොවන බවත්, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් අය කෙරෙන ඩොලර් පහක ගාස්තුවෙන් සහ හෝටල් ආදායමෙන් අය කෙරෙන 1%ක බද්දෙන් (Cess) සමන්විත වන සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ අරමුදලින් එම වියදම දරා ඇති බවත් ඔහු පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා 6ක් පමණ මෙම විකාශන සංගමයේ සාමාජිකත්වය දරන බවත්, සත්කාරක ආයතනය තෝරාගනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් නොව මැලේසියාවේ පිහිටි ABU විධායක මණ්ඩලය විසින් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව මෙවර සත්කාරකත්වය අදාළ පෞද්ගලික ආයතනයට හිමිව තිබූ අතර, ලොව ප්‍රමුඛ පෙළේ විදෙස් මාධ්‍ය ආයතන 225ක් නියෝජනය කරමින් රටවල් 66කින් පැමිණි නියෝජිතයන් 350කට අධික පිරිසක් ඉදිරියේ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම අනුග්‍රාහකත්වය පිරිනැමූ බව ඔහු පැවසීය.
සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය ඇතුළු පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක තීරණයක් මත මෙය සිදුව ඇති බවත්, මූල්‍ය ප්‍රමාණය අනුව එය කැබිනට් මණ්ඩලයට දැනුම් දී අනුමැතිය ලබාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
