October 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දත් රෝහලේ දැඩිසත්කාරයේ කරන්ට් වැදීමේ අවදානමක්

1 min read

ජාතික දන්ත රෝහලේ වාට්ටුවල සහ දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ නළවලින් වසර හයකට වැඩි කාලයක සිට ජලය කාන්දුවන බැවින් ඒ හරහා විදුලිසර වැදීමේ අවදානමක් මෙන්ම රෝගීන් සහ කාර්ය මණ්ඩලය ලිස්සා වැටීමේ අවදානමක් ඇති බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වාදෙයි.

එමෙන්ම වාට්ටුව සහ දැඩි සත්කාර ඒකකයේ වහල කොටස් වසර හතරකට වැඩි කලක සිට විනාශව පැවතීමෙන් එහි බිත්ති සහ වහලවල වසර තුනකට වැඩි කාලයක් දිලීර වර්ධනයක් ද සිදුව ඇත.

තවද දිනකට රෝගීන් 350 – 400ත් අතර පිරිසකට සේවා සපයන බාහිර රෝගී අංශයේ දන්ත වෛද්‍ය පුටු දොළහෙන් එක් පුටුවක් වසරකට වැඩි කාලයක සිට ක්‍රියා නොකරන බවත් තවත් පුටු කිහිපයක් අර්ධ වශයෙන් පමණක් ක්‍රියාත්මක වන බවත් එම සංගමය පෙන්වා දෙයි.

මේ අතර ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකයේ පවතින වෛද්‍ය නිලධාරින්ගේ හිඟය හේතුවෙන් ශල්‍ය සේවා කොටසක් සීමාකිරීමට සහ මුඛ පිළිකා රෝගීන් ඇතුළු රෝගීන්ට ලබාදිය යුතු කාලීන ප්‍රතිකාර ප්‍රමාදවීමට හේතු වී ඇති බවටද එම සංගමය චෝදනා කරයි.

ජනප්‍රිය පුවත්  විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටීමේ අවදානමක්.. - FUTA වෙතින් රතු එළියක්

ජාතික දන්ත රෝහලේ පැය 24 හදිසි ප්‍රතිකාර සේවාවක් සහ මුඛ හා හනු ශල්‍ය හදිසි සේවාවක් පවත්වාගෙන යන නමුත් පසුගිය ඔක්තෝබර් 1 වැනිදා සිට රෝහල් දුරකථන හුවමාරු පද්ධතිය වසා දැමීම හේතුවෙන් සන්නිවේදන ගැටලු ද ඇතිව තිබේ.

එසේම මහල් නවයකින් සමන්විත රෝහලේ විදුලි සෝපාන දෙකක් පමණක් පවතින නමුත් මේ වන විට ඉන් එක් සෝපානයක් අක්‍රීයවී තිබේ.

මේ අතර 2017 වසරේ විවෘත කළ රෝහල් සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියරෙන් පසු දෙවැනි අදියරේ ඉදිකිරීම් මෙතෙක් ආරම්භ කර නොමැති බවත් ඒ සඳහා සවිකර ඇති යකඩ මලකඩ කෑමට පටන්ගෙන ඇති බවත් පෙන්වාදෙන එම සංගමය 2017 වසරේ සිට දෛනික රෝගී සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගියද ඒ අනුව රෝහලේ සේවා ධාරිතාව වැඩි කිරීමට, දන්ත ශල්‍ය වෛද්‍ය තනතුරු සංඛ්‍යාව ඉහළ නැංවීමට හෝ දන්ත වෛද්‍ය පුටු සහ විශේෂිත ඒකක වැඩි කිරීමට මෙතෙක් ප්‍රමාණවත් පියවරගෙන නොමැති බව ද රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේය.

මෙලෙස රෝහලේ යටිතල පහසුකම්, කාර්ය මණ්ඩලය සහ පරිපාලනය සම්බන්ධ බරපතළ ගැටලු හේතුවෙන් රෝගී ආරක්ෂාව සහ සෞඛ්‍ය සේවා සැපයීම කෙරෙහි බලපෑම් ඇතිවිය හැකි හෙයින් මෙම තත්ත්වයන් සාමාන්‍ය නඩත්තු ගැටලු ලෙස නොසලකා අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.

ජනප්‍රිය පුවත්  අත්අඩංගුවට ගත් ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයට..
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x