November 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දූෂණ විරෝධී පනත සංශෝධනයෙන් වත්කම් සඟවනවා..- IMF විරෝධය

1 min read

දූෂණ විරෝධී 2023 අංක 9 දරන පනත සංශෝධනය කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති නව කෙටුම්පත මගින් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ විනිවිදභාවය සහ ශක්තිමත් යාන්ත්‍රණය දැඩි ලෙස අඩපණ වන බවට දේශීය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සංවිධාන ගණනාවක් දැඩි කනස්සල්ල පළ කර තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සිවිල් සංවිධාන 86ක එකමුතුවක් පෙන්වා දෙන්නේ, මෙම යෝජිත සංශෝධන හේතුවෙන් පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතියට සහ භාෂණයේ නිදහසට දැඩි බාධා එල්ල වන බවයි.

පසුගිය අගෝස්තු 19 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම පනත් කෙටුම්පත මගින් මුල් පනතේ වගන්ති 18ක් සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.

මෙම කෙටුම්පත සම්බන්ධයෙන් රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතරද මේ වන විට විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙමින් පවතී.

එහිදී යෝජිත ඇතැම් සංශෝධන මගින් වත්කම් හෙළිදරව් කිරීමේ ක්‍රියාවලිය දුර්වල විය හැකි බවත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු පවා මතු විය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව, ආන්දෝලනාත්මක ඇතැම් යෝජනා හකුළා ගැනීමට සිදුවනු ඇතැයිද පැවසේ.

ජනප්‍රිය පුවත්  සංවිධානාත්මක අපරාධ දිගින් දිගටම වැඩිවෙයි

2023 අංක 9 දරන මුල් පනත මගින් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් මහජනතාවට හා මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය කිරීමට පුළුල් ඉඩකඩක් ලබා දී තිබිණි. එහෙත්, නව සංශෝධන කෙටුම්පතේ 11 වැනි වගන්තිය මගින් පුද්ගලිකත්වයට බලපාන “වෙනත් තොරතුරු” සංස්කරණය කර වසන් කිරීමට දූෂණ විමර්ශන කොමිසමට අසීමිත බලයක් පවරා ඇත.

එලෙස සංස්කරණය කරන ලද වත්කම් ප්‍රකාශයක් නියමිත කාර්යයෙන් බැහැරව වෙනත් කරුණකට භාවිත කිරීම වරදක් බවට පත් කරමින්, ඊට එරෙහිව රුපියල් ලක්ෂයක උපරිම දඩයක් සහ වසරක සිරදඬුවමක් නියම කිරීමට යෝජනා කර තිබීම තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කළ මරු පහරක් බව සිවිල් සංවිධාන අවධාරණය කරයි.

මීට අමතරව, නිලධාරීන් විසින් වත්කම් ප්‍රකාශ කළ යුතු ආයතන නිර්ණායකයේදී, රජයේ කොටස් හිමිකාරිත්ව සීමාව සියයට 25 සිට සියයට 50 දක්වා ඉහළ දැමීමටද සංශෝධන මගින් යෝජනා කර තිබේ. එමගින් රජයේ පාලනය පවතින ආයතන රැසක නිලධාරීන් වත්කම් බැරකම් හෙළිදරව් කිරීමේ වගකීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වන බවටද දැඩි චෝදනා එල්ල වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x