වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..
1 min read
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, පසුගිය වසර දෙකක කාලය පුරාම මෙම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළද ඒවාට නිසි විසඳුම් ලබා දී නොමැති බවයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මේ වන විට දරාගත නොහැකි තරම් විශාල අර්බුද රැසකට මුහුණ දී ඇති බවත්, ඉහළ සුදුසුකම් සහිත ආචාර්යවරුන් විශ්වවිද්‍යාල හැරදා යාම සහ නව බඳවාගැනීම් සිදු නොවීම හේතුවෙන් රාජ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය දැඩි ලෙස බිඳ වැටෙමින් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
පවතින ගැටළු විසඳා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වුවද, ඒවායින් කිසිදු විසඳුමක් ලැබී නැත.
ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන, යටිතල පහසුකම් සහ සිසුන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාට සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාට මීට සති දෙකකට පමණ ඉහතදී ලිපි යොමු කළද, මේ වන තෙක් ඒවාට කිසිදු ප්‍රතිචාරයක් හෝ විසඳුමක් ලැබී නොමැති බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
