July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැය 24ට ඩෙංගු රෝගීන් 1069ක්

1 min read

ඩෙංගු අධි වසංගතයක් දක්වා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී යාමත් සමග බස්නාහිර පළාතේ ඇතුළු ඩෙංගු පැතිර ඇති පළාත් පහේ කිසිදු රෝහලකට රෝගීන් බාර ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වෛද්‍යවරු හෙළි කරති.

විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහල, අංගොඩ ජාතික බෝනොවන රෝග විද්‍යායතනය (අයිඩීඑච්), මීගමුව, හෝමාගම, රාගම, කළුබෝවිල, පානදුර යන රෝහල්වල ධාරිතාව ඉක්මවා ඩෙංගු රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔවුන්ට නිවාසවල තබා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුව ඇතැයි ද ඔව්හු කියා සිටිති.

ඊයේ (22) පෙරවරු වන විට ගෙවී ගිය පැය විසිහතරක කාලයේදී දිනකට වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වන රෝගීන් 1069 ක් මෙරටින් හමුවී ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ගෙන් ‘‘අරුණ’’ කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඊයේ (22) පෙරවරු වන විට මෙම වසරේ සමස්ථ ඩෙංගු රෝගීන් 47,179 ක් මෙරටින් හමුවී ඇති බවයි. මෙසේ හමුවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 90 ක් ම බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත් පහෙන් හමුවීම විශේෂත්වයක් බවද ඔහු සඳහන් කළේය.

දිස්ත්‍රික් වශයෙන් ගත් කල කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවී ඇත.

මේ වන විට රට තුළ පැතිර යමින් තිබෙන්​නේ DEN V 2- සහ DEN V- 3 යන ඩෙංගු වයිරස් කාණ්ඩය බවත් 2017 දී ජීවිත 440 ක් බිලිගත් DEN V- 2 වයිරසය මෙම වසරේ පැතිර යාම නිසා ප්‍රතිශක්තිය හීනවීම නිසා තත්ත්වය දරුණු අතට පත්ව ඇතැයි ද වෛද්‍ය කපිල කන්නන්ගර පැහැදිලි කළේය.

ජනප්‍රිය පුවත්  යුද්ධය නිසා සංචාරකයන් පැමිණීම අඩුවෙයි

දැනට හෙළිවී ඇති කරුණුවලට අනුව මෙරට ඩෙංගු ව්‍යාප්තියෙන් සියයට 75 ක් DEN V – 2 වයිරස් කාණ්ඩයෙන් ද ඉතිරි සියයට 25 DEN – 3 වයිරස් කාණ්ඩයෙන් ද වශයෙන් මෙම රෝගය පැතිර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඩෙංගු පැතිර යාම තවත් වැඩිවී ගියොත් රෝහල් පද්ධතියට එය දරාගත නොහැකි ධාරිතාවක් බවට පත්වනු ඇතැයි ද දැනට රෝහල් කරා එන සියලුම රෝගීන් වෛද්‍ය පරීක්ෂණවලට ලක්කර ඒ අය නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ ද යන්න තීරණය කරන බවද ඔහු කියා සිටී.

රෝහල්වලට එන සියලු දෙනාම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් වෙත යොමුකර අවශ්‍ය වෛද්‍ය නිර්දේශ ලබාදෙන බැවින් රෝහල් වෙත නොපැමිණ සිටීමට ක්‍රියා නොකරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඩෙංගු වයිරසය නැති කිරීමට නොහැකි බවත් කළ යුත්තේ ඩෙංගු වයිරසය පතුරවන ඊඩ්ස් (Aedes) මදුරු වාහකයා විනාශ කර දැමීම බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පමණක් මෙය සිදු කළ නොහැකි බවත් රටේ සියලුම දෙනා එක්වී තමන් ජීවත්වන රාජකාරී කරන පරිශ්‍ර පිරිසුදු කර මදුරුවන් බෝවන තැන් විනාශ කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

මේ වන විට ඩෙංගු මරණ 28 ක් ගෙවීගිය මාස පහත් දින 22 තුළ වාර්තා වී ඇත.

ජනප්‍රිය පුවත්  රඛිත රාජපක්ෂ සහ චරිත අබේසිංහ ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

ඩෙංගු වසංගත තත්ත්වයක් නොමැති කාලයකදී දිනකට මුළු රටින්ම රෝගීන් 150 ක් 200 ක් අතර සංඛ්‍යාවක් හමු වුවත් මේ වන විට එක් දිනකදී ඩෙංගු රෝගීන් 1000 ක් ඉක්මවා හමුවීම බරපතළ තත්ත්වයක් යැයි ද ඔහු සඳහන් කරයි.

මේ ආකාරයට දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමෙන් රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් රෝහල් පද්ධතිය කඩා වැටීමට ලක්විය හැකි බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

අනෙක් අතට වෛද්‍යවරු හෙදියන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද දැඩි මානසික හා ශාරීරික පීඩනයකට ලක්වීමට ද එය හේතුවනු ඇතැයි ද ඔහු පවසයි.

මෙයාකාරයට ඩෙංගු රෝගීන් වැඩිවී ගියහොත් ඩෙංගු මරණ ඉහළ යාමට ද එය හේතුවන බැවින් වහාම වසංගතය පාලනය කළ යුතුව ඇතැයි ද වෛද්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.

මේ අතර කළුතර පුලටර්න් කර්මාන්තපුරයේ මුළු ගමකටම ඩෙංගු වැළඳී ඇතැයි ද වාර්තාවී තිබිණි.

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති විය හැකි බවට සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය ජනවාරි මාසයේදී සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නත් ඒ පිළිබඳ සැලකිලිමත් නොවූ බව එම සංගමයේ සභාපති නජිත් සුමනසේන පවසයි.

සමීක්ෂණවලට අනුව ජනවාරි සිට ඩෙංගු පෙබරවාරි, මාර්තු දක්වා කාලයේදී ඩෙංගු කීට ඝනත්වය මනින බිටෝ දර්ශකය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබූ බවද ඔහු කියයි. අප්‍රේල් මාසය වන විට බිටෝ දර්ශකය සියයට 25 මට්ටමට පත් වූ බවත් ඩෙංගු වසංගත තත්ත්වයක් පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළත් ඊට අදාළව ගතයුතු පියවර නොගත් බවත් ඔහු පෙන්වා දෙනු ලැබීය.

ජනප්‍රිය පුවත්  ඉන්ධන මිල තවත් වැඩි කල යුතුයි..- IOC, Sinopec. RM park රජයට කියති

2017 දී 186,101 දෙනෙක්ට ඩෙංගු වැළඳුන මොහොතේ පුද්ගලයන් 440 ක් පමණ මියගිය බවත් 2026 වසරේ දී පැතිර යන්නේ 2017 පැතිර ගිය වයිරස කාණ්ඩයම වීම නිසා මෙම තත්ත්වය පාලනය කිරීමට යුහුසුළුව පියවර ගත යුතුව ඇතැයි ද ඔහු කියයි.

මේ අතර අනුරාධපුර පොසොන් උත්සවයට රටේ විවිධ ප්‍රදේශවලින් ලක්ෂයකට අධික සැදැහැවතුන් පැමිණෙන බැවින් ඩෙංගු රෝගය ව්‍යාප්තියට එය දැඩි සේ බලපෑ හැකි බව ද නජිත් සුමනසේන පෙන්වා දෙයි.

පොසොන් වන්දනාවට එක්වන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනුරාධපුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ඩෙංගු මර්දන කණ්ඩායමක් අනුරාධපුරයට එවන ලෙසට ලිඛිතව කළ ඉල්ලීම පවා නොසලකා හැර ඇතැයි ද ඔහු සඳහන් කරයි.

ඩෙංගු වසංගතය මේ වන විට අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ද මේ අතර කියා සිටී.

රටේම තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 89 ම අධි අවදානම් කළාප ලෙස නම්කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඩෙංගු වසංගතය තාමත් බරපතළ තැනට ළංව නැතැයි ද එය එම අභියෝගාත්මක තැනට යමින් තිබෙන බවද ඔහු සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x