කෝටි දෙකහමාරක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට.. රිමාන්ඩ්..
1 min read
කෑගල්ල නගර සභාවේ ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන මන්ත්‍රී කසුන් මධුසංඛ බණ්ඩාර මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ලබන සැප්තැම්බර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇත.
දේපළ වෙළඳාම් සමාගමක් විසින් පවරා ඇති මෙම නඩුවට අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ “කබානා” ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුවක් නියමිත කාලසීමාව තුළ අවසන් නොකිරීමෙන් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක (රු. 26,000,000) මූල්‍ය පාඩුවක් සිදු කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ගිවිසුම ප්‍රකාරව කබානා 18ක් නිම කර පසුගිය පෙබරවාරි 11 වනදාට පෙර භාර දිය යුතුව තිබුණ ද, මන්ත්‍රීවරයා විසින් නිම කර ඇත්තේ කබානා 14ක් පමණක් බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැනට ක්‍රියාත්මක වේ.
