ශානි අබේසේකර 2020 සිට නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන්න නියෝග
1 min read
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 2020 අගෝස්තු මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය අද (13) ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කළේය.
පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය මෙම නියෝගය නිකුත් කළේ ශානි අබේසේකර මහතා විසින් මීට වසර කිහිපයකට පෙර කරන ලද අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ලබා දෙමිනි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 1986 පෙබරවාරි මස 10 වෙනිදා උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ අතර එතැන්සිට පොලිස් පරීක්ෂකවරයකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු, සහකාර පොලිස් අධිකාරීවරයකු, පොලිස් අධිකාරීවරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස උසස්වීම් ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීමෙන් පසු ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට 2017 සැප්තැම්බර් මස 07 දින තීන්දු කළේය.
කෙසේ වෙතත්, 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයෙන් පසු රජයේ බලපෑම මත ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට එවකට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නොවැම්බර් 20 වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි අතර, ඊට පසු දින රැස්වූ පොලිස් කොමිසම අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කිරීමට තීන්දු කළේය. පසුව රංජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධියට අදාලව 2020 ජනවාරි 7 වෙනිදා ඔහුගේ වැඩ තහනම් කෙරිණි. පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වූයේ එම හඬපට සංස්කරණය කරන ලද ඒවා බවයි.
2020 අගෝස්තු මාසයේදී මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවිය. අබේසේකර මහතාට ඇප නියම කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ එම අත්අඩංගුවට ගැනීමට අදාළ පැමිණිල්ල පසුව ඇතිවූ සිතිවිලි මත නිර්මාණය කරන ලද්දක් බවයි. අබේසේකර මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය 2020ත් 2024 වසරත් අතර විමර්ශන 20කට ආසන්න ගණනක් සිදු කළ අතර අබේසේකර මහතාට එම චෝදනාවලින් නිදහස් කෙරිණි.
ඒ අනුව ශානි අබේසේකර මහතාට හිඟ වැටුප් ලබාදීමටත්, ඔහු නියමිත විශ්‍රාම වයසට අනුව පූර්ණ විශ්‍රාම වැටුප සහිතව විශ්‍රාම ගැන්වීමටත් 2023 වසරේදී ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළේය.තමන්ට නියමිතය කාලයේදී නියෝජ්‍ය පොලිස්පති තනතුර ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අබේසේකර මහතා පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර දීර්ඝ විභාගයකින් පසු එහි තීන්දුව අද (13) ප්‍රකාශයට පත් කරමින් අබේසේකර මහතා 2020 අගෝස්තු මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කළේය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ශානි අබේසේකර මහතා සේවයේ අවශ්‍යතා මත කොන්ත්‍රාත් පදනම මත යළි ශ්‍රී ලංකා පොලිස් සේවයට බඳවාගෙන ඇති අතර මේ වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියි.
රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියම් ඝාතනය, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, ටවුන් හෝල් බෝම්බය සහ පිත්තග හංදියේ බෝම්බය ඇතුළු ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක විමර්ශන කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ශානි අබේසේකරගේ මෙහෙයවීමෙනි. එම ඇතැම් අපරාධවලට අදාලව මහාධිකරණය විසින් චූදිතයන්ට ලබා දුන් දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවා ස්ථිර කර තිබේ.
