කෝටි 28ක හිඟ බිලක් | ගුවන් යානය කටුනායක රඳවාගනියි
1 min read
එරෝ ලංකා (Aero Lanka) ගුවන් සමාගමට අයත් බෝයිං B-727-200-F ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගෙවිය යුතු රුපියල් විසිඅට කෝටියකට අධික මුදලක් නොගෙවා පැහැර හැර ඇති බැවින් එම ගුවන් යානය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රඳවා තබාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගොඩ බෑම් හා නැවැත්වීමේ ගාස්තු (Landing and Parking) ලෙස 2026 මාර්තු 20 වැනි දිනට රුපියල් කෝටි 28කට වැඩි මුදලක් (284,473,729.10) ගෙවීම පැහැර හැර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
2010 අංක 14 දරන ගුවන් සේවා පනතේ 101 වැනි වගන්තියට අනුව මෙම ගුවන් යානය රඳවා ගැනීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.
සියලුම හිඟ මුදල්, වියදම්, රඳවා තබා ගැනීමේ පිරිවැය, ගබඩා ගාස්තු, පරිපාලන ගාස්තු, නීතිමය පිරිවැය අයකර ගන්නා තෙක් මෙම බෝයිං ගුවන් යානය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අත්පත් කරගෙන සිටී.
සිවිල් ගුවන් සේවා අධිකාරි පනතේ 101 වැනි වගන්තියට අනුව මෙම මුදල් නොගෙවන්නේ නම් ගුවන් යානය විකිණීමටද අධිකාරියට බලය ඇත.
ඒ අනුව මෙම හිඟ මුදල් සම්පූර්ණයෙන් ගෙවන ලෙසට අදාළ සමාගමට අවසන් නිවේදනයද නිකුත් කර ඇත.
