හිටපු ඇමතිගේ නිවසට හොරු පැනලා
1 min read
හිටපු කැබිනට් අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ මාතලේ, මල්වත්ත පාරේ පිහිටි නිවස බිඳ රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ සහ රන් භාණ්ඩ රැසක් සොරාගෙන ඇති බව මාතලේ පොලිසිය පවසයි.
හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයෙකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී චින්තන ඒකනායක මහතා විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ලට අනුව, රුපියල් 960,800ක් වටිනා විදේශ මුදල් නෝට්ටු සහ විවිධ දේපළ මෙන්ම, මෙතෙක් වටිනාකම තක්සේරු කර නොමැති රන් භාණ්ඩ රැසක් ද සොරුන් විසින් රැගෙන ගොස් ඇත.
හිටපු අමාත්‍යවරයා රෝගාතුර වීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පවුලේ සාමාජිකයන් සමඟ පසුගිය 06 වැනිදා කොළඹ බලා ගොස් ඇති අතර, සොරකම සිදුව ඇත්තේ නිවස වසා දමා තිබූ එම කාලය තුළදීය.
පසුගිය 06 වැනිදා සිට 20 වැනිදා දක්වා වූ කාලය තුළ කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් නිවසේ මුළුතැන්ගෙයි දොරක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
