කයියනායක පාර
1 min read
මේ තියෙන්නේ පාරකි. පාරක් යැයි කීවාට නිකම්ම නිකන් පාරක් නොවේ. රේල් පාරකි. රේල් පාරක්යැයි කීවාට මෙය වැදගම්මකට නැති රේල් පාරක් ද නොවේ. මේ, ලංකාවේ ප්‍රධානතම දෙස් විදෙස් ආකර්ෂණය දිනා ගත් උඩරට දුම්රිය පාරය. දිට්වා ආපදාවට ලක්ව කොළඹ – උඩරට දුම්රිය මාර්ගයේ එක කොටසක් පත්ව ඇත්තේ මේ ඉරණමට ය.
දිට්වා ලංකාවට ආවේ 2025 නොවැම්බර් මස අගදී ය. හරියටම කිවහොත් නොවැම්බර් 28 හා 29 දිනවලය. මේ සුළි කුණාටුවේ ලකුණු පහළවූයේ 2025 නොවැම්බර් 25 පමණ වන විටය. ඒ ලංකාවට දකුණු මුහුදේ හටගත් අඩු පීඩන කලාපය ඒ වන විට වැඩෙමින් පැවැති නිසාය. වෙන්න යන විපත ගැන බොහෝ රටවලට ඒ වන විට අවබෝධය ලැබී තිබුණත්, ලංකාවේ “කයියනායක දෙයියන්” ඒ ගැන දැන සිටියේ නැත. මේ නිසා ආපදා කළමනාකරණ සභාව රැස්කරවූයේ ද නැත. ගත යුතු හදිසි පූර්ව පියවර කිසිවක් ගනු ලැබුවේ ද නැත. අවසානයේ සිදුවූයේ අහිංසක වැසියන් 600 කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වීමය. දහස් ගණනක් අවතැන් වීමය. කූඩාරම් යට ජීවත්වන ඉරණමකට ඇද වැට්ටවීම ය.
ආපදාවෙන් බොහෝ යටිතල පහසුකම් බිඳවැටුණි. ඒ අතර වූ වැදගත්ම සාධකය වූයේ උඩරට දුම්රිය මාර්ගය ය. බිමල් රත්නායක තම නායක කයියනායක මග යමින් කියා සිටියේ “ලබන අප්‍රේල් අලුත් අවුරුද්දට නෑගම් යන්නට රේල් පාර හදන” බවය. අප්‍රේල් නිමා වී අප දැන් ඉන්නේ ජූනිවලත් මැද ය. තාම හැදෙන උඩරට දුම්රිය මගක් පෙනෙනතෙක් මානෙක නැත. ඇත්තේ එම රේල් පාරේ සාමාන්‍ය නඩත්තුවද නතර වී තිබීමය. තණකොළ වැවී අතහැර දැමූ රේල් පාරක තත්වයට එය පත් වීමය.
ඒ අල්ල පනල්ලේ ආණ්ඩුව මධ්‍යම අධිවේගයේ ඉතිරි වී ඇති පඬුකරඳගහ නිසා නතරවුනු කොටස ද උත්සව තබා අරඹන්නේය. කොටුව දුම්රියපොළ ද, මරදාන දුම්රියපොළ ද, පිටකොටුව බස් නැවතුම්පොළ ද තීන්ත ගගා “අළුත්” කරන්නේ ය. උඩරට දුම්රිය මාර්ගයේ උදේ හවස ආගිය මිනිස්සු, මාස 7 ක් තිස්සේ යන්නෙ එන්නේ පුදුම දුකක් විඳගනිමින්ය. ආණ්ඩුවට ඒ ගැන වගේ වගක් නැත.
කයියනායකලා බතල හිටවන්නේ කටින් ය. “සූරපප්පලා” ද මේ නිසා කයියනායකලා තත්වයට පත්ව තිබේ. මාස 7 ක් ගත වී ඇතත්, බිඳවැටුණු උඩරට රේල් පාර හදාගන්නට බැරි මුන්දැලට රටක් හදන්න පුළුවන්යැයි සිතන මන්ද බුද්ධිකයෝ කවරහු ද?
තව ටික දවසක් යන විට මේ රේල් පාර දැකගන්නටවත් නොතිබෙනු නියත ය. රූස්ස ගස් ද වැවී එය වසා පැතිර යනු ඇතිබව පැහැදිලිය. ඒ මොනවා වුනත් කම් නැත. අපි නම් ඉතින් ඒත්, මාලිමාවටම ය.
