ඊළඟ මඟඩිය සුරා බදුවෙන් !
1 min read
ආණ්ඩුව විසින් සිදු කරන ලද විශාලතම ටෙන්ඩර් මගඩිය වූ බාල ගල් අඟුරු වංචාවක් තරමටම බරපතල නවතම ටෙන්ඩර් මගඩියකට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සූදානම් වේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ ලංසු කැඳවීමේ අංකය ED/AC/20/F/19/2026 අංක යටතේ ලංසු කැඳවා ඇත්තේ මත්පැන් පාදක නිෂ්පාදන සඳහා ආරක්ෂිත සලකුණු සහ ආරක්ෂිත සලකුණු කළමනාකරණ පද්ධතිය සැපයීම, ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම සඳහා උනන්දුවන ආයතනවලට අදාළව ය.
මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකරනු ලබන්නේ මිල ගණන් කෙසේවුවද, දැනටමත් අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා වූ තීරණය ගෙනය. ඒ බව අපි ඉදිරියේ දී සාක්ෂි සහිතව අණාවරණය කරනෙමු. මත්පැන් බෝතලය මත අලවන ස්ටිකරය මුද්‍රණය කිරීම මෙහි ප්‍රධාන කාර්ය වේ. මේ පිටුපස දැනටම කෝටි ගණනක ගනු-දෙනු සිදුව තිබේ.
එම ගනුදෙනු ගලායමින් ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව අතර පමණක් නොවේ. ආණ්ඩුවේ දේශපාලනඥයින්, විපක්ෂයේ දේශපාලඥයින්, ජනාධිපති ලේකම් කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ, දේශීය ආදායම් බදු හා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානින්, රාජ්‍ය මුදල් කමිටුවේ සාමාජික දෙපාර්ශවයටම අයත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, පෞද්ගලික මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයන් කිහිපදෙනෙකු ඇතුළු සැලකිය යුතු පිරිසක් අතර මේ කප්පම් මුදල බෙදායමින් තිබේ.
ගල් අඟුරු වංචාව හත්පොලේ ගා ගැනීමට සිදුවීමෙන් පසු උගත් පාඩම් අනුව මෙම ටෙන්ඩර් මගඩිය සැලසුම්කර ඇත්තේ පගා කුට්ටියම පැලවත්තට නොගෙන, එම වංචාව සඳහා අනුකූල කරගත යුතු පිරිස අතරට ද ඉන් කොටසක් බෙදී යන අන්දමට ය.
එතෙක් පැවැති සම්ප්‍රදාය බිඳදමමින් ජනාධිපති අනුර කුමාර පළමුවැනි වතාවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමලද නිලධාරියකු වූ එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්නව එහි සුරාබදු කොමසාරිස් ජනරාල් තණතුරට පත්කරන ලදී. සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට, සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනකු දෙපාර්තමේන්තුව තුළ සිටියදී ම, ඉන් පිටත බාහිර පුද්ගලයකු මෙම ඉහළම තණතුරට පත් කිරීම පිළිබඳව ඉමහත් විවේචනයක් ද එම කාලය තුළ ජනාධිපතිවරයා වෙත එල්ල විය.
සිවිල් පරිපාලනය සහ රාජ්‍ය ආදායම් උපයන ආයතනවල ඉහළ තණතුරුවලට විශ්‍රාමික හමුදා නිලධාරින් පත්කිරීම පිළිබඳ පසුගිය රජයන්ට දැඩි ලෙස විවේචන එල්ල කරන ලද්දේ විපක්ෂයේ සිටියදී වත්මන් ආණ්ඩුවේ නායකයන්ම ය. ප්‍රේමරත්නව යනු, ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂිකාවක වූ මහාචාර්ය වසන්තා සුභසිංහගේ ස්වාමිපුරුෂයා ය. ඒ අනුව එය සෘජු දේශපාලන පත්වීමක් බව පැහැදිලිය. එමෙන්ම වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ගම ද ජනාධිපතිවරයාගේ ගම වූ තඹුත්තේගම ය. එම හිතවත්කම මෙම තණතුර ඔහුට ලබාදීම කෙරෙහි තදින් බලපා තිබේ.
රාජ්‍ය ආදායම් උපයන ප්‍රධාන ආයතනයක් වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළම තණතුරට බදුකරණය සහ පොදු පරිපාලනය පිළිබඳ නිසි පළපුරුද්දක් නොමැති හමුදා පසුබිමක් ඇති අයකු, සම්ප්‍රදාය නොසලකා, ඊට එරෙහිව ආ විරෝධතා නොතකා පත්කරනු ලැබුවේ අප මේ අණාවරණය කර තිබෙන මහා පරිමාණ ටෙන්ඩර් වංචා සිදුකිරීමේ අරමුණ ඇතිව බව පැහැදිලිය.
අදාල ටෙන්ඩරය අවසන් වූ පසු මේ වංචාවේ රහස්, නම් සහිතවම අණාවරණය කිරීමට අපි බැඳී සිටිමු.
- තිවන්ක උභයසිරි

