ආර්ථික කුණාටුව හමන විදිය මෙන්න !
1 min read
නැවතත් උස්සන්නවෙමින් තිබෙන මැද පෙරදිග අර්බුදය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බහුවිද පීඩන එල්ල කරමින් තිබේ. ලංකාව තෙල් ආනයනය කරන, විදේශ විනිමය සඳහා සංචාරක හා විදේශ රැකියා මත යැපෙන රටක් බැවින් මෙහි බලපෑම ආර්ථික සුනාමියක් බවට පත්විය හැකියැයි ආර්ථික විද්වතුන් ප්‍රකාශ කරති.
මෙම අර්බුදය හේතුකොටගෙන ගෝලීය බොරතෙල් මිල ඩොලර් 90-100 අතර ඉහළ මට්ටමක පවතින අතර තවදුරටත් එය ඉහළ යා හැකිව තිබේ. මෙරට විදුලිය බල හා ප්‍රවාහන වියදමෙන් 70% ක් පමණ ඛනිජ තෙල් මත යැපෙන බැවින්, මෙය ඉන්ධන ආනයන බිල්පත ඉහළනංවා, රටේ දැනටමත් පීඩාවට පත්ව ඇති විදේශ විනිමය සංචිත තවදුරටත් කාන්දු කරවනු ඇත. එමගින් තවදුරටත් රුපියලේ අගය පහතවැටීමටත්, ආහාර, ප්‍රවාහන ඇතුළු සියළු භාණ්ඩ මිල ඉහළයාමට හේතුවන අතර, එමගින් ජීවන වියදම තවදුරටත් ඉහල යනු ඇත.
රතු මුහුදේ නැව් ගමන් බාධා හේතුවෙන් යුරෝපයට යන භාණ්ඩ ප්‍රවාහනය සාමාන්‍යයෙන් දින 10-15 ක් ප්‍රමාද වන අතර, නැව් ගාස්තු තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනය වන ඇඟළුම් කර්මාන්තය (ආනයන ආදායමෙන් 40% ක්) යුරෝපීය වෙළඳපොළට යොමු කර ඇති බැවින් මෙය අපනයන ලාභය අඩු කර නව ඇනවුම් ලබාගැනීමේ හැකියාව බෙහෙවින් දුර්වල කිරීමට ඉවහල් වේ. කොළඹ වරායේ භාණ්ඩ හුවමාරු කටයුතුවල ද මෙමගින් බාධා එල්ල වීමේ හැකියාවක් තිබේ.
එමෙන්ම, මෙම මැද පෙරදිග අර්බුදය විසින් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය තවදුරටත් අඩුවීමට හේතු වේ. මැද පෙරදිග රටවල (විශේෂයෙන්, සෞදි අරාබිය, UAE සහ කුවේට්) සේවය කරන ශ්‍රී ලංකාවේ කම්කරුවන් සංඛ්‍යාව ලක්‍ෂ 8 කට ආසන්න අතර, ඔවුන් හරහා වසරකට ඩොලර් බිලියන 3 ක පමණ ප්‍රේෂණ ලැබේ. එය ලංකාවේ විදේශ විනිමය ප්‍රධාන මූලාශ්‍රයකි. වර්ධනය වන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එම රටවල රැකියා අවිනිශ්චිතතාව වැඩි වන අතර, ඉරානයේ ප්‍රති ප්‍රහාර වැනි තත්ත්වයන් සෘජුවම ඔවුන්ගේ ආරක්‍ෂාවට හා රැකියා ස්ථාවරත්වයට බල පෑ හැකිය. මෙය රටට ලැබෙන විදේශ ප්‍රේෂණ අඩුවීම කෙරෙහි බල පෑ හැකිය.
මැද පෙරදිග රටවල් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රභවයන්ගෙන් 10% ක් පමණ වේ. වර්ධනය වන අර්බුදය නිසා එම රටවල සංචාරකයන්ගේ පැමිණීම ද අඩුවිය හැකිය. එමෙන්ම, ගෝලීය ආරක්‍ෂාව පිළිබඳ සැලකිල්ල ද වෙනත් රටවල සංචාරකයින්ගේ ගමන් තීරණ කෙරෙහි ද බලපාන අතර එය මෙරට සංචාරක ආදායමට සෘජු පහරක් බවට පත්වනු ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ භාහිර ණය සේවාකරණය සඳහා 2026 ඉදිරි මාස 6 තුළ දී ආසන්න වශයෙන් ඇ.ඩො. බිලියන 2.8 – 3.1 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 840 – 930 පමණ) වැය කිරීමට නියමිතය. 2027 වසරේ දී ඇ.ඩො. බිලියන 5.5 – 5.8 පමණ ඒ සඳහා වැය කිරීමට සිදුවේ.
ප්‍රශ්නය වන්නේ, මෙරට විදේශ වත්කම් සංචිතය පවතින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් පමණ මට්ටමකට ය.
නමුත් මෙමගින් ද වියදමට යොදාගත හැකි පිරිසිදු සංචිත ප්‍රමාණය වන්නේ ඇ.ඩො.බි. 4.5 ක් පමණ ය. සංචිත වලින් ඉතිරිය ණය ඇපකර ලෙස චීනය/ඉන්දියාව සමග ඇති මුදල් හුවමාරු (SWAP) ගිවිසුම් යටතේ බැඳී ඇති ඒවා වේ. මේවා ණය ගෙවීමට හෝ ආනයන වියදම් පියවා ගැනීමට යොදාගත නොහැක.
සාමාන්‍යයෙන් ඉන්ධන (තෙල්/ඩීසල්/පෙට්‍රල්) මාසයකට ඇ.ඩො.මි. 400 – 450 ත් අතර මුදලක් වැය කෙරේ. ඒ අනුව ඉදිරි මාස 5 ට ඒ සඳහා ඇ.ඩො.බිලියන 2.00 – 2.25 ක් පමණ වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගෑස් ආනයනය සඳහා මාසයකට ඇ.ඩො. මිලියන 45 ත් 55 ත් අතර මුදලක් වැය වන අතර ඒ සඳහා ද ඉදිරි මාස 5 තුළ දී ඇ.ඩො. බිලියන 0.23 – 0.28 ත් අතර මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පොහොර ආනයනය සදහා මාසිකව වැය වන මුදල ඇ.ඩො. මිලියන 25 – 35 ත් අතර වේ. ඉදිරි මාස 5 සදහා පොහොර වියදම ඇ.ඩො. බිලියන 0.13 -0.18 ත් අතර විය හැකිව තිබේ. බෙහෙත් සඳහා ද මාසිකව ඇ.ඩො. මිලියන 30 – 40 අතර මුදලක් වැය කෙරෙන අතර ඉදිරි මාස 5 සඳහා ඇ.ඩො. බිලියන 0.15 – 0.20 පමණ වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව, මෙරටට ආනයනය කරන කාර්මික අමුද්‍රව්‍ය සඳහා ඉදිරි මාස 5 ක කාලයට අදාළව ඇ.ඩො. බිලියන 2.2 – 2.8 ත් අතර මුදලක් වැය වෙතැයි සැලකේ. ඒ ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය රෙදිපිලි සහ නූල් සඳහා ඉදිරි මාස 5 ට ඇ.ඩො. බිලියන 1.25 -1.50 ත් අතර ප්‍රමාණයක් ද, රසායනික ද්‍රව්‍ය (ප්ලාස්ටික් ඩ්‍රයි, කෘතිම තන්තු) සඳහා ඇ.ඩො.බි. 0.75 – 1.00 ත් අතර මුදලක් ද, යකඩ වානේ හා ලෝහ (ඉදිකිරීම්, යන්ත්‍ර) සඳහා එම කාලය සඳහා ඇ.ඩො.බි. 0.40 -0.50 ත් අතර මුදලක් ද, වෙනත් අමුද්‍රව්‍ය සඳහා (කඩදාසි, රබර්, සිමෙන්ති ආශ්‍රිත) ඇ.ඩො. බිලියන 0.25 – 0.40 ත් ආදී වශයෙන් ය.
මීට අමතරව, ආහාර ආනයනය සඳහා ද මාසික ආනයන බිලෙන් 10% – 15% පමණ වැය වේ. ඒ අනුව ඉදිරි මාස 5 සඳහා ඇ.ඩො. බිලියන 0.60 – 0.75 ත් අතර මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබේ. සහල්, තිරිගු, බඩ ඉගුරු (ප්‍රධාන ධාන්‍ය) සදහා මාසික සාමාන්‍ය වියදම ඇ.ඩො.මි. 50 – 60 ත් අතර වන විට ඉදිරි මාස 5 සඳහා එය ඇ.ඩො.බි 0.25 – 0.30 අතර විය හැකිව තිබේ. කිරිපිටි, සීනි, පරිප්පු වැනි පාරිභෝජන සඳහා ද මාසයකට ඩො.මිලියන 45 – 50 ත් අතර වැය වෙන අතර, ඒ අනුව ඉදිරි මාස 5 සඳහා ඒ වෙනුවෙන් ඇ.ඩො. බිලියන 0.20 – 0.25 ත් අතර මුදලක් වැය වෙතැයි සැලකේ. නැවුම් සහ අනෙකුත් ආහාර සඳහා ද මාසිකව ඇ.ඩො.මි 30 – 40 අතර මුදලක් වැය කෙරෙන අතර, ඒ අනුව ඒ සඳහා වූ මාස 5 ක වියදම ඇ.ඩො.බි 0.15 – 0.20 අතර විය හැක. ඒ අනුව මුළු ආහාර ආනයන වියදම ඉදිරි මාස 5 සඳහා ඇ.ඩො. බිලියන 0.60 -0.75 ත් අතර වේ.
ඒ අනුව, වත්මන් කුණාටුසහගත මැදපෙරදිග අස්ථාවර බව හමුවේ වුවද, ඉදිරි මාස 5 සඳහා ඉන්ධන, ගෑස්, පොහොර හා බෙහෙත් වෙනුවෙන් ඇ.ඩො. බිලියන 2.5 – 2.9 ත් අතර වැය බරක් ද, කාර්මික අමුද්‍රව්‍ය සදහා ඇ.ඩො. බිලියන 2.2 – 2.8 ත් අතර මුදලක් ද, අත්‍යවශ්‍ය ආහාර සඳහා ඇ.ඩො.බි. 0.6 – 0.75 ත් අතර මුදලක් ද ආදී ලෙස ගත්කළ එම මුළු ආනයන වියදමේ එකතුව ඇ.ඩො. බිලියන 5.3 – 6.45 ත් අතර වේ. භාහිර ණය සේවාකරණ සඳහා ද ඇ.ඩො. බිලියන 2.5 ක පමණ මුදලක් වැය කිරීමට ද සිදුව තිබේ. ඒ අනුව, මේ සියල්ල සඳහා ඉදිරි මාස 5 කාලය වෙනුවෙන් අවශ්‍ය මුලු විදේශ විනිමය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 7.8 – 8.95 කි. මෙම අගය (ඇ.ඩො. බිලියන 8.5 කියා ගත්තත්) දැනට පවතින ඇ.ඩො. බිලියන 6.5 ක සංචිතයට වඩා ඇ.ඩො.බි. 2 කින් පමණ වැඩි අගයකි.
ඉදිරි මාස 5 තුළ ශ්‍රී ලංකාවට ගලා එනු ඇතැයි සැලකිය හැකි ප්‍රධාන විනිමය ප්‍රභවයන් ඇත්තේ 5 ක් පමණී. භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ආදායම අපේක්ෂා කෙරෙන ඩො.බි. 4.5 – 5.0 සපුරාගැනීම දුෂ්කර වන ප්‍රවණතාව දේශීයවත් භාහිරවත් ඇතිව තිබේ. අප ඉහත පෙන්වා දුන් තත්ත්වය අනුව, විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ද අපේක්ෂිත ඇ.ඩො.බි. 2.5 – 2.8 ත් අතර ඉලක්කයට යාම දුෂ්කර කරවනු ඇත. සංචාරක ආදායම ද අපේක්ෂිත ඩො.බි. 1.1 – 1.4 සපුරාගැනීමට ද අභියෝගාත්මකය. IMF වාරික සහ බහුපාර්ශවික ණය (ලෝක බැංකුව,ADB) ඇ.ඩො. 0.4 සිට 0.6 දක්වා ලැබෙන මුදල් ඇතැයි සැලකේ. සෘජු විදේශ ආයෝජන (FDI) සහ වෙනත් ඇ.ඩො.බි. 0.2 – 0.3 ලැබෙනු ඇතැයි සැලකුව ද එය ද ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකට ලක්වය. ඒ අනුව ඉදිරි මාස 5 තුළ මුළු විදේශ විනිමය අපේක්ෂිත ඩොලර් බිලියන 8.7 – 10.1 ත් අතර ප්‍රමාණය ලබාගැනීමට නොහැකි වුවහොත්, ඒ මඟින් බලාපොරොත්තු වියහැකි සහනය ද නොලැබී යාමට ඉඩ තිබේ.
යුරෝපීය ආර්ථික මන්දගාමී වීම මත ඇගලුම් ඇණවුම් අඩුවීම, මැදපෙරදිග අර්බුදය තවත් උස්සන්න වුවහොත් සංචාරක පැමිණීම තවත් හීන වීම, ගෝලීය තෙල් මිල බැරලය ඇ.ඩො. 100 ට වඩා ඉහළ ගියහොත් ඉන්ධන සඳහා යන වියදම තවත් ඉහළ යාම යනාදිය මගින් තත්ත්වය තවත් අවිනිශ්චිත කරනු ඇත.
මේ තත්ත්වය තුළ විදේශ ආදායම් විවිධාංගීකරණය කිරීම කෙරෙහි වහා පියවර ගැනීම අත්‍යවශ්‍ය වී ඇතත්, ඒ සඳහා කවර හෝ උත්සාහයක නිරත වන බව ආණ්ඩුවේ පාර්ශවයෙන් දක්නට නැත.
- රවිනාථ සුමනසේකර
