අනුර කුමාරගේ බොදු බැතිය !
1 min read
ජනාධිපති අනුර කුමාරයාණන්ට හදිසියේම බුද්ධාගම බේරා ගැනීමේ ඕනෑකම පහල වී තිබේ. මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි යැයි කියමින් භික්‍ෂූන්වහන්සේලාගේ නඩු විභාගයට සංඝාධිකරණයක් පිහිටුවන්නට සූදානම් බව කියන්නේ, බුද්ධාගම පන පුදා හෝ රැකගන්නට සිතක් පහල වී ඇති බැවිණි. ගොනා එන්නේ කුමන පැලය කෑමට දැයි ගිහි-පැවිදි සියලු බෞද්ධයෝ සිතා බැලිය යුතුව තිබේ. නිරාගමික – මාක්ස් – ලිබරල් මතවාදී කැඳ හැලියක ගිලී සිටින ජනාධිපති අනුරට මේ සිතුවිලි පහළ වී ඇත්තේ නිකමටම නොවේ.
එක් අතෙකින්, “රටේ වැසිකිලියක් ඉදිකිරීමටත් විහාර හා දේවාලගම් පනත හරස් වී ඇතැයි කියමින් හොටු සූරන්නේ අනුරගේ ආණ්ඩුවේ සංස්කෘතික හා ආගමික කටයුතු ඇමැති සුනිල් සෙනෙවි ය. විහාර දේවාලගම් පණත අහෝසිකර දළදා මාලිගාවේ සහ අටමස්ථානයේ බිලියන ගණන් ධනය “රජයේ අධීක්ෂණ නිලධාරි මණ්ඩලයකට” පැවරිය යුතු යැයි කියන්නේ, පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර වෙනුවෙන් මත දැක්වූ කැකිරාවේ සුදස්සන හිමිය. රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයෝ ද, නිරාගමික වෙස් ගත් අන්‍යාගමිකයෝද එක දිගට ප්‍රහාර එල්ල කරන්නේ විහාර හා දේවාලගම් පනතට හා ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට ය. අනුර කුමාරගේ සංඝාධිකරණ කතාව එන්නේ, ඒ අතරට ය.
ජනාධිපති අනුර කුමාරගේ බෞද්ධාගමික ශ්‍රද්ධාව ගැනනම් කතා කරන්නට දෙයක් නැත. 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ඉල්පුර පසළොස්වක පෝදා සිදු කළේ ඒ ඉල් පොහොය හිල් කරන්නට ය. ජනපති නිල නිවසේ පැවැත්වුණු පොහොය ධර්ම දේශනාව නතර කළේ නාස්තිය තුරන් කරන්නටය. පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ “කවුන්සලයට” ට USAID සල්ලි මත යැපෙන ICES ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන නිරාගමික වෙස් ගත් මහාචාර්ය ජයදේව උයන්ගොඩව පත් කළේ බුදු දහම පන මෙන් රකින්න ය. නමට පමණක් බෞද්ධ අයකු බුද්ධ ශාසනය බාර ඇමතිකමට පත් කලේත්, බෞද්ධ විරෝධී අන්‍යාගමිකයකු එම අමාත්‍යාංශයේ ලේකම් බවට පත් කලේත් අනුර කුමරුන්ට බොදු සසුන රැකගැනීමට පට්ට උවමනාවක් තියෙන නිසාය. පන්සල් පද්ධතිය “කුණු වෙච්ච පොල් කෝම්බයක්” ලෙස හෑල්ලු කරමින් මත දක්වන්නේ ජ.වි.පෙ. පාලනයට සෙමර සලන නන්දන වීරරත්න ලා ය.
1931 සම්මත කෙරුණු “බෞද්ධ දේපළ පණත” (Buddhist Temporalities Ordinance) මගින් හැකියාව ලබා දී ඇත්තේ දේපල හා මූල්‍ය පාලනයට මිස භික්ෂු විනය පාලනයට නොවේ. එහි 41 වගන්තිය යොදාගෙන විනය උසාවි පිහිටුවීමට කටයුතු කරන ලද හොත් එය බලය ඉක්මවා යාමක් ලෙස සලකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වහාම අවලංගු කරනු ඇත. ව්‍යවස්ථාව මගහැර සාමාන්‍ය පණතක වගන්ති දෙකකින් අධිකරණ බලය ස්ථාපිත කළ හැකි නොවේ. ව්‍යවස්ථාවේ 105 (4) වගන්තිය ප්‍රකාරව, අවශ්‍යනම් කළ යුත්තේ ස්වාධීන නව පණතක් ලෙස “සංඝාධිකරණ පිහිටවීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගැනීම ය. එසේ නොකර, දේපළ පිළිබඳ ඇති කර තිබෙන නීතියක වගන්තියක එල්ලී නැති අධිකරණ බලයක් ඇති කිරීම නොවේ.
විනය පිටකයට අනුව භික්ෂූන්ගේ විනය පිළිබඳ විනිශ්චය කළ හැක්කේ ධර්මධර, විනයධර තෙරුන්වහන්සේලාට පමණි. විහාර දේවාලගම් පනත හරහා පිහිටුවන ඊනියා සංඝාධිකරණයක නඩු අසනු ඇත්තේ බෞද්ධ කටයුතු කොමසාරිස් ය. එනම්, ගිහි පුද්ගලයෙක් ය.
විහාර දේවාලගම් පනත හා පුරාවිද්‍යා පනත දියාරු කර දැමීමේ උවමනාව මේ සංඝාධිකරණ කතාව යට සැඟව තිබෙන ඇත්ත කතාව ය. චම්පක රණවක “මෙගාපොලිස්” ඇමති කාලයේ ඇමරිකා එක්සත් ජනපදයේ “මිලේනියම් කෝපරේෂන්” (MCC) විසින් සැදූ විශේෂ ආර්ථික කොරිඩෝව ලංකාවේ 2048 – ජාතික භෞතික සැලැස්ම තුලට ඇතුල් කළේය. එම සැලැස්මට අනුව කොළඹ සිට ත්‍රිකුණාමලයට දිවෙන විශේෂ ආර්ථික කොරිඩෝව සමග ගැටෙන්නේ විහාර දේවාලගම් පනත හා පුරාවිද්‍යා පනත්ය. එහි වන මිලිටරි ගුවන් පත 16 හා අනිකුත් ඉදිකිරීම් කරන්නට සිදුවන්නේ වෙහෙර විහාර ඇතුළු පුරා වස්තු සහිත ඉඩම් බිලිගෙනය. එයට නෛතික බාධා ඉවත් කළ යුතුය. විහාර දේවාලගම් පනත හා පුරාවිද්‍ය පනත දිය කර හැරිය යුත්තේ ඒ සඳහාය.
දෙමළ ඊලම් ජාතිවාදී කල්ලිවලටද ඇණයක් වී ඇත්තේ මේ පනත් 2 හා මහවැලි සංවර්ධන පනතය. දැනටමත් ජනාධිපතිවරයා අභාවයට යවන රාජ්‍ය ආයතන ලැයිස්තුවට මහවැලි අධිකාරිය එක් කර තිබෙන්නේ, එවිට උතුරේ සහ නැගෙනහිර වන එම අධිකාරිය සතු ඉඩම් ප්‍රාදේශීය ලේකම්ලාගේ බලය යටතට පත්කෙරෙන නිසාය. එවිට, උතුරේ හා නැගෙනහිර වාර්ගික ඉඩම් කොල්ලයට තටු ලැබීම නියතය.
මෙවර වෙසක් පොහොය උදා වූයේ මැයි පළවෙනිදා ය. ලංකාව හැර ලොව අන් සියලු රටවල වෙසක් උදාව සැමරුවේ මැයි පළමුවැනිදාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කළ වෙසක් පොහොය දිනය වූයේ මැයි එක ය. ලංකාවේ පමණක් අප තෙමගුල සමරන්නේ 30 වැනිදාය.
මැයි 30 යනු සෙනසුරාදා දිනයකි. බුද්ධාලම්බන ප්‍රීතියෙන් මන්මත්ව සිටින ජනපති අනුර කුමරුවෝ 30 වැනි සෙනසුරාදා පැවැත්වෙන තෙමගුල සැමරීම වෙනුවෙන්, විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර 31 වැනි ඉරිදා දිනය ද විශේෂ නිවාඩු දිනයක් බවට පත් කළේය. ඒ කළ උතුම් ක්‍රියාවට තෙමගුල සිහි කරන අතරතුර ජනපති කුමරයාගේ මෑනියෝ සිහිකිරීමෙන් වැලකී සීටීමට බෞද්ධයන් වග බලා ගත යුතුය.