රජයේ රෝහල්වල පිළිකා ඖෂධ හිඟයක්..!
1 min read
පිළිකා රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ට නියම කෙරෙන ඇතැම් ඖෂධ දැනට රජයේ රෝහල් තුළ නොමැතිවීම හේතුවෙන්, එම ඖෂධ පෞද්ගලික ඖෂධහල්වලින් මිලදී ගැනීමට රෝගීන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
දීර්ඝකාලීනව පිළිකා රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙලෙස බාහිරින් ඖෂධ ලබාගැනීම වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂයකට අධික මුදලක් වියදම් කිරීමට සිදුවන අවස්ථා පවතින බවත්, එසේ ලබාගන්නා ඇතැම් ඖෂධ මෙරට ලියාපදිංචි කර නොමැති ඒවා බවත් හෙතෙම පෙන්වා දෙයි
පිළිකා ඖෂධ වෙනුවෙන්ම මසකට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන්, එම අසරණ රෝගීන්ට සිය පවුලේ සහ දරුවන්ගේ එදිනෙදා නඩත්තු කටයුතු පවත්වාගෙන යාම පවා දැඩි අර්බුදයකට ලක්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
එබැවින්, උද්ගතව ඇති මෙම බරපතළ තත්ත්වය කෙරෙහි අවධානය යොමුකර, පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වන ඖෂධ වෛද්‍ය සැපයුම් අංශය හරහා කඩිනමින් මෙරටට ගෙන්වා බෙදාහැරීමට කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
