June 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු රෝගීන් තව වැඩිවුණොත් රෝහල්වලට දරාගන්න බැරිවෙනවා

1 min read

මේ වන විට රට තුළ ඇතිවී තිබෙන ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කරගත නොහැකි වුවහොත් ඉදිරියේදී රෝහල්වල ඩෙංගු රෝගී ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් නිර්මාණය විය හැකි බවත් ඒ නිසා රෝගී ප්‍රතිකාර සේවා අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි. දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය නොසලකා හරිමින් කටයුතු කළොත් ඩෙංගු අධිවසංගත තත්ත්වයක් වුවද ඇති විය හැකි බවද කියැවෙයි. මේ පිළිබඳව මෙන්ම ඩෙංගු රෝගයට අදාළ තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර සමග “අරුණ” කළ සාකච්ඡාවකි මේ.

රට තුළ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් නිර්මාණය වෙලා කියලා පහුගිය දවස්වල ඇතැම් පිරිස් කියලා තිබුණා. අපි මුලින්ම ඒ ගැන කතාකරමු?

මේ වන විට රටතුළ තියෙන්නේ ඩෙංගු වසංගත තත්ත්වයක්. නමුත් මදුරුවන් බෝවීම පාලනය කර ගැනීමට නොහැකි වුණොත් එය අධිවසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ බරපතළ අවදානමක් තියෙනවා.

මේ වන විට ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර තිබෙන අවදානම් පළාත් හඳුනාගෙන තියෙනවාද?

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් අවදානම් පළාත් ලෙස දැනට හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු රෝගීන්ගෙන් සියයට 80ක් පමණම වාර්තා වන්නේ මේ පළාත්වලින්.

දැනට වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව කොපමණද?

පසුගිය ජුනි 10 වන දින වන විට ඩෙංගු රෝගීන් 39460ක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම ඩෙංගු පුද්ගල මරණ 20ක් වාර්තා වී තිබෙනවා. මේ අතර වයස අවුරුදු 15ට අඩු පාසල් යන වයසේ පසුවන දරුවන් 5 දෙනකුත් සිටිනවා. අවුරුදු 15- 55 අතර වයස් කාණ්ඩයේ ආර්ථිකයට සක්‍රීයව දායකත්වයක් සපයන වසයේ අය 8දෙනෙක් ඉන්නවා. ඒ වගේම මියගිය අය අතර අවුරුදු 55ට වැඩි පුද්ගලයන් 5 දෙනකුත් ඉන්නවා.

පසුගිය වසර හා සැසඳීමේදී මේ වසර තුළ ඩෙංගු රෝගීන්ගෙන් වර්ධනය සම්බන්ධයෙනුත් දැනගන්න කැමැතියි?

පසුගිය වසරේ මෙම කාලය හා සැසඳීමේදී මේ වර්ෂයේ රෝගීන් 10000කගේ පමණ වර්ධනයක් පෙන්නුම් කරනවා. රෝගීන් වාර්තාවීමෙන් සියයට 50කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන්නේ.

මේ මාසය තුළ මුල් දින 10 ඇතුළතයි. මේ විදිහට ඩෙංගු රෝගීන් දිගින් දිගටම වැඩි වුණොත් රෝහල්වලට දරාගන්න නොහැකි වෙන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි මරණ සංඛ්‍යාවත් වැඩිවෙන්න පුළුවන්.

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ තරම් ඉහළ යන්න හේතුව මොකක්ද?

මේ දිනවල පැතිර යන්නේ ඩෙංගු දෙවන කාණ්ඩයේ වයිරසයයි. ඒ විදිහට දෙවන කාණ්ඩයේ ඩෙංගු වයිරසය පැතිරයාම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙතරම් ඉහළ යාමට හේතුවක් වෙන්න පුළුවන්. පසුගිය වසර කිහිපය තුළම පැතිර ගියේ ඩෙංගු තුන්වන කාණ්ඩයේ වයිරසයයි. එම රෝගය වැළඳුනු අයට ශරීරයේ ප්‍රතිශක්තිකරණය නිසි පරිදි තිබුණු නිසා පසුගිය වසරවල පැතිර ගිය තුන්වන ඩෙංගු වයිරස් කාණ්ඩයට ඔරොත්තු දීමේ හැකියාව ඔවුන් සතුව පැවැතුණා. රෝගීන් සංඛ්‍යාව අඩුවෙන්න එය හේතුවක් වුණා.

ජනප්‍රිය පුවත්  දිට්වා සහන සේවා අද සිට නවතී!

මේ වන විට ‍ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා කියලා ඔබ කිව්වා. එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල ප්‍රමාණවත් තරම් පහසුකම් තියෙනවද?

රෝහල්වලටත් රෝගීන් දරාගත හැකි ධාරිතාවක් තියෙනවනේ. මේ වන විට රෝහල්වලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව උපරිම ධාරිතාවයට පැමිණිලා තියෙන්නේ. රෝගීන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ ගියොත් රෝහල්වලට දරාගන්න බැරිව යනවා. මෙය ඉතාමත් භයානක තත්ත්වයක් වෙනවා. එහෙම වුණොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල පමණක් නොවෙයි අනෙකුත් සියලුම රෝගී සත්කාරයන් සහ පහසුකම් දීම අපහසු වෙන්න පුළුවන්. ජීවිත බේරා ගැනීමේ දී යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. මේ අවදානම් තත්ත්වයන් ඇති නොවීමට තමන් සිටින පරිසරය මදුරුවන් බෝනොවන සේ පිරිසුදු කරගන්න කියලා අපි නිතර නිතර කියන්නේ ඒකයි.

කොහොම වුණත් ඩෙංගු රෝගීන්ට අවශ්‍ය සත්කාර සේවා සැපයීම අතින් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මනා පුහුණුවක් සහ පළපුරුද්දක් තියෙනවා. නමුත් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් වුණොත් එය කළමනාකරණය කිරීමේ ගැටලු මතුවෙන්න පුළුවන්.

ඩෙංගු සත්කාර ක්‍රමවේද පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මනා පුහුණුවක් සහ පළපුරුද්දක් තියෙනවා කියලා ඔබ කිව්වා. අපි ඒ ගැනත් මතක් කිරීමක් කරමු?

2009 වර්ෂයේදී පැතිර ගිය ඩෙංගු වසංගතය අවස්ථාවේ රෝගීන් 35000ක් පමණ වාර්තා වුණා. එහිදී ඩෙංගු රෝගීන් 354ක් මිය ගියා. මේ වසර තුළ මේ වන විට ඩෙංගු රෝගීන් 39000ක් වාර්තා වෙලා තියෙනවා. නමුත් මරණ විස්සක් පමණයි වෙලා තියෙන්නේ. අපිට සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක් පවතින බවට මෙය හොඳම සාක්ෂියක්. වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්යය මණ්ඩල ඩෙංගු රෝගියෙක් මනා ලෙස කළමනාකරණය කරගැනීමට දැනුමෙන් සන්නද්ධයි.

මදුරු මර්දන වැඩසටහන් මොනතරම් ක්‍රියාත්මක කළත් පාසල්වලින් සියයට 44.7 කම ඩෙංගු අවදානම තිබෙනවා කියලා අපිට පහුගිය දවසක දැනගන්න ලැබුණා…

සෞඛ්‍ය අංශය ලෙස පාසල් සම්බන්ධයෙන් අපිට ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නැහැ. ඩෙංගු මර්දනය සඳහා කළ යුතු වැඩකොටස අපි පාසල්වල විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට දැනුම් දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන ආකාරය පවා හඳුන්වලා දීලා තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාසල් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කරද්දී ඩෙංගු මදුරු කීටයන් සිටින ස්ථාන හඳුනාගත්තොත් මුලින්ම ඒ පරිශ්‍ර පිරිසුදුකරගන්න කියලා විදුහල්පතිවරුන්ව දැනුම්වත් කරනවා. ඉන් අනතුරුව නැවැත පරීක්ෂා කිරීමකදී පෙර පරිදිම මදුරු කීටයන් සිටින ස්ථාන හඳුනා ගත්තොත් නීතිමය ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා. පාසල් වාරයක් ආරම්භ වන විට පාසල් පරිශ්‍රය පිරිසුදු කරගන්න කියලා සෞඛ්‍ය අංශ සියලුම පාසල් බලධාරීන්ව දැනුම්වත් කරනවා. තමන්ගේ පාසල් පරිශ්‍රය පිරිසුදු කරගැනීම පාසලේ සිටින අයගේ වගකීමක්. සෞඛ්‍ය අංශවලට නිතර නිතර පාසල්වලට ගිහින් ඒ පාසල් පිරිසුදු කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. පාසල්වලින් ඩෙංගු රෝගය මර්දනය කිරීමේ හැකියාව තියෙන්නේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් පමණක් නොවෙයි ශිෂ්‍යයන් පවා තමන්ගේ වගකීම හරියාකාරව ඉටු කළොත් පමණයි.

ජනප්‍රිය පුවත්  පාස්කු ප්‍රහාරය ගැන සුරේෂ් සලේ දැනගෙන හිටියා..! – ඇමති ආනන්ද විජේපාල

සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂාවට ලක් කළ රාජ්‍ය ආයතන 189කින් 50කම මදුරු කීටයන් සිටි ස්ථාන හඳුනාගත්තා කියලත් පහුගිය දවසක වාර්තා වෙලා තිබුණා. එවැනි ආයතන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

මදුරුවන් බෝවන පරිශ්‍රයන් හඳුනාගත්තොත් ඒ ස්ථාන පිරිසුදුකර ගන්න කියලා අපි දිගින් දිගටම දැනුම්වත් කිරීම් කරනවා. එම දැනුම්වත් කිරීමවලට අනුව කටයුතු නොකරන්නේ නම් පමණක් දෙවන තුන්වන අවස්ථාවන්වලදීත් පරීක්ෂා කරලා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට අදාළ ආයතනය සම්බන්ධයෙන් මදුරු මර්දන පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීමට හැකියාව තියෙනවා. මදුරු මර්දන පනතට අනුව පරිශ්‍ර තුළ ඩෙංගු මදුරු කීටයන් හිටියොත් රුපියල් 25000ක දඩ මුදලක් අයකර ගැනීමට නීතිමය බලය පැවරිලා තිබෙනවා. වැරදිකරුවන් පුද්ගලයාට අධිකරණය තුළදී එම දඩ මුදල ගෙවන්න වෙනවා.

මේ දිනවල බොහෝ දෙනෙක් උණ රෝගයෙන් පීඩාවිඳින බව කියැවෙනවා. ඒ රෝගීන්ට දෙන්න පුළුවන් උපදේශය මොකක්ද?

මේ දිනවල පැතිර යන උණ රෝගය ඩෙංගු කියලා අනුමාන කරලා හෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවෙන්න කියලයි අපි කියන්නේ. කුඩා දරුවකුට උණ වැළඳුණොත් පැය 24ක් ගත වූ සැණෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න. කල් වේලා ඇතිව ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් සංකූලතා මඟහරවා ගන්න හැකියාව තියෙනවා. ඩෙංගු රක්තපාත තත්ත්වය ඇතිවන තෙක් බලා ඉඳලා ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාමත් භයානකයි. අනෙක මේ දිනවල පැතිර යන උණ රෝගයට වෛද්‍ය උපදෙස්වලින් තොරව වේදනානාශක ඖෂධ හෝ ස්ටීරියෝ කාණ්ඩයේ ඖෂධ කිසිවිටකත් ගන්න එපා කියලත් අපි උණ රෝගය වැළඳුණු රෝගීන්ට මතක් කරනවා

ඩෙංගු රෝගය සඳහා මේ වන විට ඇතැම් රටවල්වල එන්නතක් භාවිත කරනවා නේද?

ඩෙංගු එන්නතක් සොයා ගැනීමට වසර 20ක් පුරා පරීක්ෂණ පැවැත්වෙනවා. පහසුකම් පවතින රටවල් ඩෙංගු සදහා එන්නතක් නිෂ්පාදනය කළා. නමුත් එම එන්නත නිසා යම් යම් ආබාධ ඇතිවන බව වාර්තා වු නිසා එය භාවිතයෙන් ඉවත් කළා. තවත් එන්නත් දෙකක් තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙනවා. ඒ එන්නත් දෙක භාවිතයට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ අදාළ පරීක්ෂා කිරීම්වල ප්‍රතිඵල අනුවයි. මේ එන්නත් දෙක මේ වන විට ඇතැම් රටවල් භාවිත කරනවා. නමුත් අපි තවමත් ඒ එන්නත් භාවිතය ආරම්භ් කරලා නැහැ. මේ එන්නත් කොතරම් දුරට සාර්ථකද කියලා අපි තවමත් සොයා බලමින් සිටිනවා. අපි කරන්නේ සංකූලතාවලට ප්‍රතිකාර කිරීමක්. සංකූලතා කළමනාකරණය කරගැනීමේ හැකියාව අපට තියෙනවා.

ජනප්‍රිය පුවත්  ගල්ගමුව සමුපකාර ඡන්දයෙනුත් මාලිමාව පරදා ඒකාබද්ධ විපක්ෂයට ජය

ඩෙංගු රෝගය නිසා ප්ලේට්ලට් අඩුවන විට විවිධ ආකාරයේ නිෂ්පාදන භාවිත කරන්න අද බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. ඒ සම්බන්ධයෙනුත් අදහසක් දැනගන්න කැමැතියි?

ඩෙංගු රෝගය වැළඳුණු විට ප්ලේට්ලට් අඩුවීම සාමාන්‍ය දෙයක්. නමුත් දින 7ක් ගත වන විට අඩු වූ ප්ලේට්ලට් නැවැත වැඩිවීමට පටන් ගන්නවා. ඒ ගැන බියක් ඇති කර ගත යුතු නැහැ. ප්ලේට්ලට් අඩු වූ විට එම රෝගියාට අපි පිටතින් ප්ලේට්ලට් දීමක් කරන්නේ නැහැ. ස්වභාවිකවම ප්ලේට්ලට් වැඩිවීමක් වෙනවා. ඔබ කියූ ආකාරයටම අද සමහරු ප්ලෙට්ලට් වැඩිකර ගන්න කියලා විවිධ පාන වර්ග රෝගියාට පෙවීමට කටයුතු කරනවා. එවැනි දේවල් නිසා විවිධ සංකූලතා මතුවෙන්න පුළුවන්.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ඩෙංගු මර්දන කටයුතු ගැනත් කතා කරමු?

පළාත් පාලන ආයතන හා සම්බන්ධ වී ධූමායන කටයුතු, පිරිසුදු කිරීම්, කැළි කසළ නිසිලෙස ඉවත් කිරීම්, කානු පද්ධති පිරිසුදු කිරීම් ආදී මදුරු මර්දන කටයුතු කරනවා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ කටයුතුත් කෙරෙනවා. පසුගිය සතිය තුළ දිස්ත්‍රික්ක 14ක අපි මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්ම කළා. අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක මර්දන කටයුතු පැවැත්වුවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හමුදාව සහ පරිසර පොලිස් කණ්ඩායම්, පළාත් පාලන ආයතන, ස්වෙච්ඡා සංවිධාන, මාධ්‍ය ආදී සියලුම පාර්ශ්වයන්ගෙන් මෙන්ම ජනතාවගෙනුත් ඒ සඳහා සහයෝගය ලැබුණා.

ජුනි 8 – 10 දක්වා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් පැවැත්වුවා. මම මුලිනුත් සඳහන් කළ ආකාරයට අවදානම් දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් තුළ මෙය ක්‍රියාත්මක කළා. මම ඉහතින් සඳහන් කළ පාර්ශ්ව එකතු වෙලා පරිශ්‍ර 97000ක් පරීක්ෂා කළා. ඉන් 6000කට වැඩි සංඛ්‍යාවක් ලවා (මදුරු කීටයන්) සහිත බඳුන් හඳුනාගත්තා. එදිනම අවවාද කර පරිශ්‍ර පිරිසුදු කර ගැනීම් 21000ක් පමණ කළා. රතු නිවේදන 3300ක් පමණ එම දින තුන තුළදී අපට නිකුත් කරන්න සිදු වුණා. 2400කට නීතිමය ක්‍රියාමාර්ග ගත්තා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x