September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

1 min read

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උෂ්ණාධික සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, දැනට පවතින ජල සම්පත ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයකම සැලකිය යුතු ජල හිඟයක් මතුව ඇති අතර දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 73 හි සමස්ත ධාරිතාවයෙන් දැනට ඉතිරිව ඇත්තේ සියයට 40ක ප්‍රමාණයක් පමණක් බවයි.

එළඹෙන අගෝස්තු මාසයේදී සහ දැනට පවතින ‘එල්නිනෝ’ තත්ත්වය හමුවේ ඇති වන අධික උෂ්ණත්වය නිසා ජලාශවල ජලය ශීඝ්‍රයෙන් වාෂ්පීකරණය වී අහිමි වන බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා, නැවත වර්ෂාපතනයක් ලැබෙන තෙක් පවතින ජලය ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කිරීමේ අත්‍යවශ්‍යතාව අවධාරණය කළේය. එබැවින් ජලය අපතේ යා නොදී ප්‍රයෝජනයට ගැනීමට මහජන සහයෝගය අපේක්ෂා කරන බවත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම තුළින් පවතින මෙම වියළි කාලගුණික තත්ත්වය සාර්ථකව කළමනාකරණය කරගත හැකි වනු ඇති බවත් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එල්.එස් සූරියබන්ඩාර මහතා,

”ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල වියළි කාලගුණික තත්ත්වයක් තමයි අපිට අත්දකින්න ලැබෙන්නේ. අපේ ජලාශ පද්ධතිය පිළිබඳ ගත්තොත් ප්‍රධාන ජලාශ 73න් සමස්ත ධාරිතාවය විදිහට ගත්තොත් 40%ක විතර ප්‍රමාණයක් තමයි සමස්ත ධාරිතාවයෙන් මේ වෙනකොට අප සතුව තියෙන්නේ. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක කීපයක සැලකිය යුතු ජල හිඟතාවයක් පවතිනවා. ඒ වගේම නැවත වර්ෂාපතනය ලැබෙනතෙක් මේ පවතින ජලාශවල සහ ලබාගත හැකි ජලයන් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුයි. මක්නිසාද අගෝස්තු මාසය සහ මේ එල්නිනෝ තත්ත්වය මත විශේෂයෙන්ම අධික උෂ්ණත්වයත් සමග ජලාශවල ජලය වාෂ්ප වීම නිසා සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වෙනවා. මේ නිසා භාවිතය විශේෂයෙන්ම ජනතාවගෙන් එම ජලය උපතේ නොයා ප්‍රයෝජනය ගැනීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන්න කියන ඉල්ලීමත්, හැමවිටම ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තුළින් අපිට මෙවැනි තත්ත්වය කළමනාකරණය කරගන්නට හැකි වේවි.”

ජනප්‍රිය පුවත්  රටේ නායක නාමය දරන පුද්ගලයන් කොයි තරම් සිටියත්, ඔවුන් තුළ සැබෑ නායකත්ව ලක්ෂණ නැහැ.. - නාරම්පනාවේ හිමි

මේ අතර ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන එල්නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ වුවද, ඉදිරි කාලය සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර අවසන් බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දුන්නේ, එල්නිනෝ තත්ත්වය යනු වර්ෂාපතනය සම්පූර්ණයෙන්ම නැතිවීමක් නොව, වර්ෂාපතන රටාවේ සිදුවන යම් වෙනස් වීමක් පමණක් වන බවය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන අතර, ඒ හේතුවෙන් ජලය වාෂ්පීකරණය වීම වැඩි වන බව නිලන්ත ධනපාල මහතා පෙන්වා දෙයි.

ජල කළමනාකරණයක අවශ්‍යතාවය මතු වන්නේ මෙම උෂ්ණත්වය ඉහළ යාම නිසා බව ඔහු අවධාරණය කළේය.

දැනට යල කන්නය අවසන් වෙමින් පවතින බැවින්, එළඹෙන මහා කන්නයේ වගා කටයුතු ඔක්තෝම්බර් මස 01 වනදාත් 15 වනදාත් අතර කාලය තුළ ආරම්භ කිරීමට රජය විසින් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තීරණය කර ඇති බවද ඒ මහතා මෙහිදී පැවසීය.

මේ හේතුවෙන්, අදාළ ප්‍රදේශ, කලාප හෝ වාරි පද්ධති මට්ටමින් සියලුම ගොවි ජනතාව එකවර වගා කටයුතු ආරම්භ කළ යුතු බව ද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  සියයට පහකින් බස් ගාස්තු ඉහළ දමන්නැයි බස් සංගම් ඉල්ලයි

එලෙස එකවර වගා කටයුතු ඇරඹීම තුළින් වාරිමාර්ග සඳහා අවශ්‍ය වන විශාල ජල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වන බවත්, ඊට අමතරව විදුලිය සහ පානීය ජලය ද අපතේ නොයවා අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව වගබලා ගැනීමෙන් ඉදිරි එල්නිනෝ තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙන බවත් නිලන්ත ධනපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා,

”එල්නිනෝ තත්ත්වය කියන්නේ ඇත්තටම වර්ෂාපතනය නැතිවීමක් නෙවෙයි, යම්කිසි වර්ෂාපතන වෙනස් වීමක් වෙන්නේ. ඉතින් අපි ඒ වර්ෂාපතනයත් පුරෝකථනය කරලා ඉදිරි කාලයේ කොහොමද කළමනාකරණය කරන්නේ කියලා දැන් සැලැස්ම හදලා ඉවරයි. අපිට සාමාන්‍යයෙන් එල්නිනෝ තත්ත්වය කියලා ලොකු බලපෑමක්, ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි උෂ්ණත්වය තමයි වැඩිවෙන්නේ. උෂ්ණත්වය තමයි වාෂ්පීකරණය වැඩි වෙනවා. ඒ නිසා තමයි අපිට මේ කළමනාකරණයේ අවශ්‍යතාවය එන්නේ. නමුත් වර්ෂාපතන රටාවේ ආවොත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

ඉතින් මම ඉල්ලා සිටින්නේ අපි දැන් යල කන්නයේ අවසානයේ ඉන්නේ. හැබැයි දැන් අපි ඊළඟට පටන් ගන්න තියෙන්නේ මහා කන්නය. අපි දැන් රජයක් විදිහට අපි දැන් සියලුම දෙනා කතිකාවකට ඇවිල්ලා තියෙනවා ඔක්තෝම්බර් 01 වෙනිදා 15 අතර කන්නය පටන් ගැනීමට. ඉතින් ඒක අපේ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන මහා කන්නය ඔක්තෝම්බර් 01 සිට 15 අතර පටන් ගැනීම සහ අනිවාර්යෙන් අපි ප්‍රදේශයක් ගත්තොත්, නැත්නම් සිස්ටම් එකක් ගත්තොත්, නැත්නම් කලාපයක් ගත්තොත් අනිවාර්යෙන් එකවර පටන් ගන්න ඕනේ. එකවර පටන් ගත්තොත් අපිට සෑහෙන වතුරක් ඉතුරු කරන්න පුළුවන්. ඒ වගේම විදුලිය සහ පානීය ජලය අපි අපතේ දාන්නේ නැතුව තව ඉතුරු කරගන්න පුළුවන් නම් අපිට මේ කියන එල්නිනෝ තත්ත්වයට හොඳට මුහුණ දෙන්න පුළුවන්.”

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත සංඝ සමුළුවක්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x