සුපිරි බලවතුන් දණගැස්වූ පර්සියානු චෙස් ක්‍රීඩාව! ස්විට්සර්ලන්ත සාකච්ඡා මේසය මැද ඇමෙරිකාව අසරණ වූ මොහොත…
1 min read
ලෝක දේශපාලන කරළිය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වන, හැඟීම් සහ බල අරගලයන්ගෙන් පිරුණු මහා රංග පීඨයක්. මේ රංග පීඨය ඇතුළේ සමහර අවස්ථා තියෙනවා, මුළු මහත් ඉතිහාසයේම ගමන් මඟ උඩුයටිකුරු කරන!
ශතවර්ෂ ගණනාවක් තිස්සේ තමන් තමයි “ලෝකයේ එකම සහ අසහාය නායකයා” කියලා හිතාගෙන හිටපු ඇමෙරිකා එක්සත් ජනපදය, එකම එක සාකච්ඡා මේසයක් ඉස්සරහා සම්පූර්ණයෙන්ම අසරණ වෙලා, තමන්ගේ අභිමානය පාවා දීපු පුවතක් ඊයේ ස්විට්සර්ලන්තයේ සුන්දර බර්ගන්ස්ටොක් නුවරින් වාර්තා වුණා.
මේ සිදුවීම හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික හමුවක් විතරක් නෙවෙයි. මේක ඇමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් ඇතුළු පිරිසට, ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් උගන්වපු ඉතාමත් සූක්ෂ්ම මනෝවිද්‍යාත්මක පාඩමක්.
නූතන ඉතිහාසය ඇතුළේ කිසිම දවසක ඇමෙරිකාව වගේ මහා බලවතෙක් සාකච්ඡා සඳහා, හිඟාකන තත්ත්වයට පත් වෙලා, මේ වගේ බලාගෙන ඉන්න සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ලෝක දේශපාලන විචාරකයින් මේක හඳුන්වන්නේ “ඇමෙරිකාවට මුහුණ දීමට සිදු වූ අතිශය නින්දාසහගත ඓතිහාසික පරාජය” විදිහට.
ඇමෙරිකාව වැරදුණු තැන්..
රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනය කියන්නේ නිකම්ම නිකන් අතට අත දීමක් හෝ ලස්සන සිනහවකින් මුහුණ දීමක් විතරක් නෙවෙයි. එතැන තියෙන්නේ ‘බොඩි ලැන්වේජ්’ කලාව, කවුද මුලින්ම කාමරයට ඇතුළු වෙන්නේ, කවුද අවසානයට එන්නේ, සහ මාධ්‍ය ඉස්සරහා හැසිරෙන්නේ කොහොමද කියන එක මත තීරණය වන, මහා බල අරගලයක්..
මොකද මේ හැම දේකින්ම කියවෙන්නේ, සාකච්ජාවේ කාටද “වැඩිම බලය” තියෙන්නේ කියන එකයි. ප්‍රකට ජාත්‍යන්තර විශ්ලේෂකයෙකු වන අම්ජාඩ් තාහා ස්විට්සර්ලන්තයේ ලුසර්න් විල අද්දර පිහිටි හෝටල් සංකීර්ණයේ සිදුවූ දේ ඉතාමත් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා.
ඔහු ඉදිරිපත් කරන කරුණු දෙස බලන විට, ඇමෙරිකානු නියෝජිත පිරිස තමන්ට “දේශපාලනය ගැන තබා” මූලික රාජ්‍ය තාන්ත්‍රික සිරිත් විරිත් පිළිබඳවවත් අවබෝධයක් නැති බව ලෝකය ඉදිරියේ ඔප්පු කර හමාරයි.
පළමු වැරැද්ද ? කලින්ම බලා සිටීම!
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සාකච්ඡාවකදී තමන් ඉහළින්ම ඉන්නවා සහ තමන්ට වැඩි වාසි තියෙනවා කියලා පෙන්වන්න අවශ්‍ය පාර්ශ්වය කිසිම වෙලාවක අනෙක් පාර්ශ්වය එනකම් කාමරය ඇතුළට වෙලා බලන් ඉන්නේ නැහැ.
නමුත් මෙතැනදී සිදු වුණේ පුදුම සහගත දෙයක්. ඇමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් ඇතුළු දූත පිරිස ඉරාන නියෝජිතයින් පැමිණීමට බොහෝ වේලාවකට කලින්ම සාකච්ඡා කාමරයට ඇතුළු වෙලා බලාගෙන හිටියා..
මේක හරියට තමන්ට ගනුදෙනුවක් කරගන්න තියෙන හදිසිය නිසා, වෙළෙන්දා එනකම් කඩපිලේ රස්තියාදු වෙන පාරිභෝගිකයෙක් වගේ වැඩක්. (සිකුරාදා දවල්ට ‘නෝලිමිට්’ දෝර ගාව ඉන්න අභිමානවත් ශ්‍රි ලාංකික කාන්තාවෝ වගේ..)
දෙවන වැරැද්ද. මාධ්‍ය ඉදිරියේ නිරාවරණය වීම!
ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සාකච්ඡා කාමරයට ඇතුළු වුණේ මාධ්‍යවේදීන් සියල්ල ඉවත් කළාට පසුවයි.
නමුත් ජේ. ඩී. වෑන්ස් මාධ්‍යවේදීන් කාමරය ඇතුළේ ඉද්දීම එතැනට ආවා. මේ නිසා ඇමෙරිකාව තමන්ගේ දිගුකාලීන මිතුරන් වන ඊශ්‍රායලය වැනි රටවල් පවා පසෙක ලා, ඉතාමත් අසරණව සහ මංමුලා සහගතව ඉරානය සමඟ එකඟතාවයකට පැමිණීමට වෙහෙසෙන ආකාරය මුළු ලෝකයම සජීවීව දැක්කා.
තෙවන සිද්ධිය. අන්තිමට පැමිණ ‘අතට අත දීම’ ප්‍රතික්ෂේප කිරීම!
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි කාමරයට ඇතුළු වුණේ හැමෝටම අවසානයටයි. ඔහු පැමිණි විගස ඇමෙරිකානු නියෝජිතයින් සමඟ සංකේතාත්මකව හෝ අතට අත දීම සෘජුවම ප්‍රතික්ෂේප කළා.
ඒ නිසා සාකච්ඡාවකදී කවුද ආත්ම විශ්වාසයෙන් ඉන්නේ සහ කවුද අසරණ වෙලා ඉන්නේ කියලා කියන්න අපිට ලොකු දේශපාලන විශ්ලේෂණ අවශ්‍ය වුණේ නැහැ. ඒ ඡායාරූප සහ දර්ශන දෙස බලපු ඕනෑම කෙනෙකුට එය පැහැදිලි වුණා.
ඉරාන දූත පිරිස ස්විට්සර්ලන්තයේදී පෙන්වපු මේ හැසිරීම නිකම්ම සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඒක ඉතාමත් සූක්ෂ්ම, දීර්ඝ කාලීනව සැලසුම් කරන ලද මනෝවිද්‍යාත්මක සහ රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයක්.
පර්සියානු සංස්කෘතිය සහ ඉතිහාසය දෙස බැලුවොත්, ඔවුන් හැමවිටම දක්ෂයි තමන්ගේ සතුරාගේ මනස එක්ක සෙල්ලම් කරන්න. ඔවුන් මේ සාකච්ඡා මේසය පාවිච්චි කළේ චෙස් ලෑල්ලක් වගේ. ඇමෙරිකාව ඊළඟට තියන පියවර මොකක්ද කියලා හිතන්නත් කලින්, ඉරානය පියවර කිහිපයක් ඉදිරියෙන් හිටියේ.
ඔවුන් තමන්ගේම කොන්දේසි මත සාකච්ඡාවට ආවා. ඇමෙරිකානුවන් ලවා තමන්ට අවශ්‍ය දේ ඉටු කරගන්නා තෙක් ඔවුන්ව රඳවා ගත්තා..
ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටනයේ ඉඳන් සුපුරුදු පරිදි සමාජ මාධ්‍ය හරහා තර්ජනාත්මක පණිවිඩ නිකුත් කරද්දී, ඉරාන දූත පිරිස මොහොතකටවත් කලබල වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කළේ, “මේ වගේ තර්ජන මැද අපිට සාකච්ඡා කරන්න බැහැ” කියමින් නැගිටලා ගොස් සාකච්ඡා තාවකාලිකව නතර කිරීමයි.
ඒකෙන් සිද්ධ වුණේ මොකක්ද? ඇමෙරිකාව තවත් බියට පත්වීම සහ ඉරානය ඉදිරියේ දණගැසීමට සිදුවීමයි. අවසානයේදී සිදු වුණේ කටාර් අගමැතිවරයා සහ ඇමෙරිකානු උප ජනාධිපතිවරයා තමන්ගේ ලැප්ටොප් ක්‍රියාත්මක කරමින්, තමන්ගේම දෑතින් ගිවිසුමේ වගන්ති ටයිප් කරන තත්ත්වයට පත් වුණා.
සාමාන්‍යයෙන් මෙවැනි ඉහළ පෙළේ නායකයින් කරන්නේ තීරණ ගැනීම පමණයි, ලියකියවිලි සකස් කරන්නේ ඔවුන්ගේ නිලධාරීන්. නමුත් මෙතැනදී ඇමෙරිකානු උප ජනාධිපතිවරයාට පවා බිම් මට්ටමේ “ලිපිකරුවෙකුගේ කාර්යය” කිරීමට සිදු වීමෙන්ම පෙනෙන්නේ, ඔවුන් කෙතරම් පීඩනයකට සහ අසරණභාවයකට පත්ව සිටියාද යන්නයි.
මේ ජේ. ඩී. වෑන්ස්ගේ දේශපාලන ගමනේ අවසානයද? මේ ස්විට්සර්ලන්ත සාකච්ඡා දෙස බලන බොහෝ දෙනෙක් පවසන්නේ මේ සිදුවීම ඇමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස්ගේ දේශපාලන ජීවිතයේ මාරක නැවතීම විය හැකි බව!
ට්‍රම්ප් පරිපාලනය ලෝකය ඉදිරියේ “අපි තමයි ලෝකය මෙහෙයවන්නේ සහ අපි හැමදාම දිනනවා” කියල මවාපාන “ප්‍රතිරූපය” මේ එකම එක සාකච්ඡාවකින් කුඩුපට්ටම් වී ගියා.
ඉරානය ඉතාමත් පැහැදිලිව තමන්ගේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටියා. ඔවුන් තමන්ගේ තෙල් අපනයනය සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කරවා ගැනීමටත්, අත්හිටුවා තිබූ බිලියන ගණනාවක මුදල් නිදහස් කරවා ගැනීමටත් මේ සාකච්ඡා හරහා සමත් වුණා.
ඒ වෙනුවට ඇමෙරිකාවට ලැබුණේ මොනවද? හොර්මුස් සමුද්‍ර සන්ධිය, දින 60 කට විවෘතව තැබීමේ තාවකාලික පොරොන්දුවක් පමණයි. ලෝක දේශපාලනයේ මීළඟ පරිච්ඡේදය ලියවෙන්නේ බටහිර රට වලට අවශ්‍ය විදිහට නෙවෙයි, පෙරදිග නැගී එන නව බලවතුන්ගේ උපාය මාර්ග මත බව ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් සාකච්ඡා මේසය, මුළු ලෝකයටම ඔප්පු කර හමාරයි.
