සංචාරක ආයෝජන සඳහා ජනාධිපති මන්දිර බදු දීමට කැබිනට් අනුමැතිය
1 min read
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති සහ වර්තමාන ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා භාවිත නොකෙරෙන ජනාධිපති මන්දිර කිහිපයක් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ජනාධිපතිවරයාගේ නිල කටයුතු හා පෞද්ගලික විවේක අවස්ථාවන් සඳහා පවත්වාගෙන යනු ලබන මෙම මන්දිර, දැනට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන අතර, ඒවා නඩත්තු කිරීම, ආරක්ෂාව සැපයීම සහ අනෙකුත් වියදම් සඳහා රාජ්‍ය මුදල් සැලකිය යුතු ලෙස වැය කිරීමට සිදුව ඇත.
ඉතා ඉහළ වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකම්වලින් යුත් අංගසම්පූර්ණ පහසුකම්වලින් සහ ආකර්ෂණීය බිම් සැකසුම්වලින් සමන්විත මෙම මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
රජය සතු බංගලා, නිවාස සහ ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට පත් කළ කමිටුවේ නිර්දේශ මත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, පහත සඳහන් ප්‍රදේශවල පිහිටා ඇති ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවා සුදුසු ආයෝජකයන් වෙත බදු දීමට නියමිතය:
බෙන්තොට
කතරගම
මහියංගනය
ඇඹිලිපිටිය
අනුරාධපුරය
මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
