June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ සූදානමක් නැහැ’ – අධිකරණ ඇමැතිගෙන් පැහැදිලි කිරීමක්

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල (Superior Courts) විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය සූදානම් වන බවට පැතිර යන ප්‍රචාර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රතික්ෂේප කර තිබේ.

‘ද මෝනින් ‘ පුවත්පතට ප්‍රකාශයක් දෙමින් ඔහු අවධාරණය කරන්නේ එවැනි කිසිදු යෝජනාවක් හෝ සාකච්ඡාවක් මේ වන විට රජය සතුව නොමැති බවයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව රහසිගත සැලසුමක් දියත් කර ඇති බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෑතකදී සැක පළ කර තිබුණි. මෙම පසුබිම තුළ කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් ද යොමු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 සහ 108 වගන්ති ප්‍රකාරව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 63න් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 65න් විශ්‍රාම ගත යුතුය. එම වයස් සීමාවන් වෙනස් කිරීම තුළින් තරුණ විනිසුරුවරුන්ගේ වෘත්තීය ඉදිරියට යෑම අඩාල වන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය පළුදු විය හැකි බවත් නීතිඥ සංගම් පෙන්වා දෙයි.

ජනප්‍රිය පුවත්  සමූපකාර ඡන්ද ගොඩක "මාලිමාවට" බින්දුව !

නඩු ගොඩගැසීමට විකල්ප විසඳුම්

පවතින වාර්තාවලට අනුව මෙරට අධිකරණ පද්ධතිය තුළ විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව 1,131,818 කි. මෙම දැවැන්ත නඩු ප්‍රමාණය ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ විනිසුරුවරුන්ගේ හිඟකමයි.

අමාත්‍යවරයා පවසන්නේ විශ්‍රාම වයස වෙනස් කරනවා වෙනුවට, නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා නව විනිසුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. පවතින මූල්‍ය හා පරිපාලනමය බාධා මධ්‍යයේ වුවද, අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) හරහා බඳවාගැනීම් අඛණ්ඩව සිදුවන බව ඔහු සඳහන් කළේය.

ඩිජිටල්කරණයෙන් නව මුහුණුවරක්

ජාත්‍යන්තරව පිළිගත් විනිසුරු-ජනගහන අනුපාතයට මෙරට විනිසුරුවරුන් සංඛ්‍යාව පත් කිරීම වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ අභියෝගාත්මක වුවද, ඊට විකල්පයක් ලෙස නව ඩිජිටල්කරණ වැඩසටහනක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇත. මෙමගින් අධිකරණ පද්ධතිය වඩාත් කාර්යක්ෂම හා වේගවත් වනු ඇති බව අධිකරණ අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x