August 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස්කිරීමේ අර්බුදය උණුසුම් වෙයි: ජාත්‍යන්තරය සහ IMF හමුවට යාමට නීතිඥ ප්‍රජාව සැරසෙයි!

1 min read

අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට ගෙන ඇති කැබිනට් තීරණයත් සමඟ, අධිකරණ සහ නීති ක්ෂේත්‍රය තුළ මතුව ඇති අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතී. නීතිඥ ප්‍රජාවට අමතරව ආගමික හා බහුජන සංවිධාන ද පවත්නා තත්ත්වයට එරෙහිව හඬ නැගීමට පටන්ගෙන ඇති බව අධිකරණ ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු සහ කුරුණෑගල රදගුරු නිශාන්ත ප්‍රනාන්දු යන පියතුමන්ලාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා ඇන්ග්ලිකන් සභාව (Church of Ceylon) ප්‍රකාශ කළේ, මෙම තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ල සහ අපේක්ෂාභංගත්වය පළකරන බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ සිවිල් සමාජය පෙන්වා දී ඇති පරිදි, නීතියේ ආධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය බිඳවැටීමේ බරපතළ අවදානම සලකා බලා රජය මෙම තීරණය වහාම හකුලා ගත යුතු බව උන්වහන්සේලා අවධාරණය කරති.

දේශපාලන මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික පියවර

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය පෙන්වා දෙන්නේ, නිසි පූර්ව අධ්‍යයනයකින් හෝ පූර්ව සාකච්ඡාවකින් තොරව ගෙනවිත් ඇති මෙම යෝජනාව, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ට අදාළව මතුවූ ගැටලුවටත් වඩා බරපතළ එකක් බවයි. ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව සකස් කළ වාර්තාවේ පවා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට කිසිදු නිර්දේශයක් කර නොමැති බව පැවසූ රජීව් අමරසූරිය, සමස්ත නීතිඥ ප්‍රජාවම මෙයට එරෙහි බැවින් රජයට අවශ්‍ය නම් මේ සඳහා ජනමත විචාරණයකට යා හැකි බවට අභියෝග කළේය.

ජනප්‍රිය පුවත්  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උප්පරවැට්ටිය මගින්! දුප්පත් දරුවන් උඩට එන එක නවත්වන්න හදන්නේ!

මේ අතර, පවතින නීතිමය හා ව්‍යවස්ථාපිත තත්ත්වය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA), ආසියානු නීතිඥ සංගමය (LAWASIA) සහ ලන්ඩනයේ පිහිටි ජාත්‍යන්තර නීතිඥ සංගමය (IBA) වෙත කරුණු වාර්තා කිරීමට නීතිඥ කණ්ඩායම් පියවර ගෙන තිබේ. යහපාලනය (Good Governance) සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ මූලධර්ම පදනම් කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන දැනුවත් කිරීමටද මෙමගින් අපේක්ෂා කෙරේ.

අමාත්‍යවරයාගේ මැදිහත්වීම සහ විපක්ෂයේ සූදානම

ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ, නඩු ප්‍රමාදයන් පවතින්නේ පහළ අධිකරණවල මිස ඉහළ අධිකරණවල නොවන බැවින් මෙම පියවර අධිකරණ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් වන බවයි. මෙකී බරපතළ වාතාවරණය හමුවේ, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ පිළිබඳව දැඩි ලෙස හඬ නැගීමට තීරණය කර ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය තමන් වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය සහ කරුණු සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි. අදාළ නීතිඥ සංගම් නියෝජිතයන්ගේ අදහස් සහ සවිස්තරාත්මක වාර්තාව ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර රජයේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බවද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජනප්‍රිය පුවත්  කොළඹ නගරයේ ජල සැපයුම ගැන විශේෂ දැනුම්දීමක්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x