June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රවි සහ ශානි දෙපලගේ බරපතල පැහැරහැරීම් රැසක් කරළියට

1 min read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට එරෙහිව, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම (CA Writ 232/2026) වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (11) නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එකල CID ඉහළ නිලධාරීන් සතු වගකීම් පැහැර හැරීමේ තීරණාත්මක තොරතුරු රැසක් අධිකරණය හමුවේ අනාවරණය විය.

ISIS ජාලය සහ මාවනැල්ල බුදුපිළිම විනාශයේ සැඟවුණු ඇත්ත

පෙත්සම්කාර සූරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අයි.එස්.අයි.එස්. (ISIS) ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ පුළුල් චිත්‍රයක් මතු කළේය. ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු සිරියාවට ගොස් ISIS සංවිධානයට සෘජුවම සම්බන්ධ වී ඇති බවත්, මේ පිළිබඳව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ එදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයත් ඔහු සිහිපත් කළේය.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඒ පිටුපස විදේශීය අන්තවාදී ත්‍රස්ත කල්ලියක දෘෂ්ටිවාදය පවතින බවට පැහැදිලි තොරතුරු හෙළිදරව් වී තිබුණි. එසේ තිබියදීත්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොකළ බවට ජනාධිපති නීතිඥවරයා බරපතල චෝදනාවක් එල්ල කළේය. ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහය ලබාගෙන විමර්ශන පුළුල් කිරීමට ඉඩකඩ තිබියදී, CID අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් දැක්වූ නොසැලකිලිමත්භාවය ප්‍රහාරයට පාර කැපූ බව මෙහිදී තර්ක කෙරුණි.

ජනප්‍රිය පුවත්  ඉන්ධන විදුලිය වැඩි කරනු! නැත්නම් මිලියන 700 නෑ! - I M F

වාර්තා 97ක් සහ 129කගේ ලැයිස්තුවක් යටගැසීම

2016 වසරේ අප්‍රේල් මස 20 වනදා සිට 2019 වසරේ අප්‍රෙල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ බුද්ධි වාර්තා 97 ක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමකින් තහවුරු වී ඇත. මෙම අන්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දක්වන පුද්ගලයින් 129 දෙනෙකුගේ නාමලේඛනයක්ද ලබා දී තිබියදී, එවකට CID අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන අය ඒ පිළිබඳ නිසි පරීක්ෂණ සිදු නොකළ බවට අධිකරණයේදී චෝදනා නැඟිණි.

ජනක ද සිල්වා කොමිෂන් සභා වාර්තාවේ පිටු 114-116 ආන්දෝලනාත්මක හෙළිදරව්ව

මෙම රිට් පෙත්සම් විභාගයේදී වඩාත්ම අවධානයට ලක්වීමට නියමිතව ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනක ද සිල්වා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගත කරුණුය. මෙම වාර්තාවේ 114 සිට 116 දක්වා පිටුවල දැක්වෙන සොයාගැනීම් මෙතෙක් කාදිනල්තුමා හෝ කතෝලික සභාව විසින් කිසිදු අභියෝගයකට ලක් කර නොමැති වීම විශේෂත්වයකි.

කුමන්ත්‍රණය සැලසුම් කළ රට හෝ ආකාරය පිළිබඳ තොරතුරු නොමැති බැවින් ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගත නොහැකි බවට 2019 ජනවාරි 29 දින CID ය දැරූ ස්ථාවරය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මඟින් පෙන්වා දී ඇත. මන්දයත්, සහරාන් යනු ශ්‍රී ලංකාව තුළ ISIS මාදිලියේ ප්‍රහාරයක් එල්ල කිරීමට තරුණයින් පොළඹවන අන්තවාදී දේශකයෙකු බවත්, ඔහු විදේශීය අන්තවාදීන් සමඟ සබඳතා පවත්වන බවත් 2019 ජනවාරි 25 වන විටත් (ප්‍රහාරයට මාස තුනකට පෙර) SIS අධ්‍යක්ෂවරයා විසින් CID යේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න වෙත ලිඛිතව දැනුම් දී තිබූ බැවිනි.

ජනප්‍රිය පුවත්  ඉරානයට පහර දෙන්න තම හමුදා කදවුරු භාවිත කරන්න ඉඩ දෙන්නේ නෑ! ස්පාඤ්ඤය ට්‍රම්ප්ට දන්වයි!

නිලධාරීන් 700කින් 5ක් පමණක් යෙදවීම සහ “ලේ විලක් කරනවා” ප්‍රකාශය

ජාතික ආරක්ෂාවට එල්ල වී තිබූ මෙම දැවැන්ත තර්ජනය විමර්ශනය කිරීම සඳහා CID ය නිසි ප්‍රමුඛත්වයක් ලබා දී නොමැති බව සාක්ෂි මගින් තහවුරු වී ඇති බව කොමිෂන් සභා වාර්තාව පෙන්වා දෙයි. සමස්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 700 කට අධික පිරිසක් සිටියදී, මෙම තීරණාත්මක විමර්ශනය සඳහා අනුයුක්ත කර ඇත්තේ ප්‍රධාන විමර්ශකයා ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු (05) පමණි. එම කාලය තුළ ඔවුන්ගේ අංශය වෙනත් සාමාන්‍ය විමර්ශන 400ක් පමණ නිලධාරීන් 22කුගෙන් සිදුකරමින් සිටි බව විමර්ශන නිලධාරියාම සාක්ෂි දී තිබේ.

වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය කඳවුර සොයාගැනීමේ විමර්ශනවලදී, මෙම සැලසුම ශ්‍රී ලංකාව ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක කොටසක් බවත්, “ඒකට ලේ විලක් කරනවා” යැයි එක් සැකකරුවෙකු ප්‍රකාශ කර තිබූ බවත් CID විමර්ශකයින් අනාවරණය කරගෙන තිබුණි. මුලින් 2020 වසරේදී එල්ල කිරීමට සැලසුම් කර තිබූ මෙම ප්‍රහාරය, වනාතවිල්ලුව කඳවුර සොයාගැනීමත් සමඟ තමන් කොටුවනු ඇතැයි බියෙන් සහරාන් විසින් කඩිනම් කළ බව කොමිසම පෙන්වා දෙයි. එහි තිබී නයිට්‍රික් ඇසිඩ්, යූරියා, පොටෑසියම් නයිට්‍රේට් මෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත විද්‍යුත් නොවන වර්ගයේ ඩෙටනේටර් 99ක් ද සොයාගෙන තිබුණි.

නිශ්චිත ඉන්දීය බුද්ධි අනතුරු ඇඟවීම් නොසලකා හැරීම

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කිතුනු දේවස්ථාන, සංචාරක හෝටල් සහ ඉන්දීය තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව ඉන්දීය බුද්ධි අංශ විසින් 2019 අප්‍රේල් මස 4 වනදා මෙරට බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දී තිබුණි. ප්‍රහාරයට සහභාගි වන සහරාන් ඇතුළු පිරිසගේ නම්ගම් පවා එහි සඳහන් විය. එහෙත් එම කරුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කිරීමට අදාළ වගඋත්තරකරුවන් ක්‍රියා නොකළ බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  ගල්ගමුව සමුපකාර ඡන්දයෙනුත් මාලිමාව පරදා ඒකාබද්ධ විපක්ෂයට ජය

මඟහැරුණු වගකීම සහ නීතියේ ආධිපත්‍යය

අභියාචනාධිකරණය හමුවේ දිගහැරෙන මෙම කරුණු දෙස විචාරාත්මකව බැලීමේදී පැහැදිලි වන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජගත කර ඇති පොදු දේශපාලන ආඛ්‍යානයට එහා ගිය බරපතල රාජ්‍යතාන්ත්‍රික සහ විමර්ශනමය බිඳවැටීමක් මෙහි පවතින බවයි. ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් ගේ කමිටු වාර්තාව මඟින් ද පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිශ්චිතවම නිර්දේශ කර තිබුණි.

මෙවැනි පසුබිමක, කිසිදු පරීක්ෂණ කොමිසමකින් හෝ විමර්ශන වාර්තාවකින් පාස්කු ප්‍රහාරයට සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් ඇති බවට තහවුරු නොවූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සූරේෂ් සලේ ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම නෛතික මෙන්ම සදාචාරාත්මක වශයෙන් ද දැඩි ප්‍රශ්නාර්ථයක් මතු කරයි.

අධිකරණයේ ස්වාධීනත්වයට සහ විභාග වෙමින් පවතින නඩුවට බලපෑමක් නොවන පරිදි අපට නිගමනය කළ හැක්කේ, ඉදිරි ජූලි 10 වනදා පැවැත්වෙන නඩු විභාගයේදී මෙම ලේඛනගත සාක්ෂි ඔස්සේ මෙරට අපරාධ පරීක්ෂණ ඉතිහාසයේ සිදු වූ විශාලතම වගකීම් පැහැර හැරීම පිළිබඳ පුළුල් නෛතික සංවාදයක් සහ තීන්දු තීරණ රැසක් බලාපොරොත්තු විය හැකි බවයි.

  • සමාරා පරණවිතාන –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x