August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මරණීය දණ්ඩනය නියම වූ පූජීත් ජයසුන්දරගේ සම්පූර්ණ නඩු තීන්දුව

1 min read

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනා වලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කළා.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විතත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරු තීන්දු කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර මහතා වරදකරු කරන බවයි.

ඉන් පසුව බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ” 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා කොළඹ නැංග්‍රිලා, කිංග්ස්ටරි, සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල්වල සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුවේ සියෝන් දේවස්ථානය මෙන්ම දෙහිවල ට්‍රොපිකල් ඉන් නැමති ස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් සිදු කිරීම සම්බන්ධයෙන් කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒවා වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රාජකාරිය නොකර හැරීම සහ මිනීමැරීමට ආධාර අනුබලදීම යටතේ මේ විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබුණා. ඒ යටතේ ඔහුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සංඛ්‍යාව 855 ක්. එම සිද්ධිවලින් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් 586 දෙනෙකු තුවාල ලැබුවා. 2019 වසරේ අප්‍රේල්මස 01 වනදා සහ එම මස 21 වන දා අතර කාලසීමාව තුළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල්, කිතුණු දේවස්ථානවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබුණා. ඒ අවස්ථාවේදී මේ විත්තිකරු රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළා. රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් මෙම තොරතුරු විත්තිකරු වෙත ලබාදී තිබුණා. මෙවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් මිනීමැරුම් සිදුවිය හැකි බව හොඳින්ම දනිමින් මෙම විත්තිකරු එය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම නොකර හැර තිබෙනවා. මේ හරහා අපරාධ සිදුකිරීම පහසුවන ආකාරයෙන් ඔහු කටයුතු කර තිබෙනවා” යනුවෙන් සඳහන් කර සිටියා.

වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා” පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් අවස්ථා අටකදී තොරතුරු විත්තිකරු වෙත ලබාදී තිබුණා. මෙලෙස අවස්ථා අටකදී තොරතුරු ලැබුණු බව විත්තිකරු විසින්ද අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. එහෙත් මෙම අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා විත්තිකරු කටයුතු කර නොමැති බව එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ලබාදුන් සාක්ෂි වලින් පැහැදිලි වෙනවා. සහරාන් හශීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් කිතුනු දේවස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට නිලන්ත ජයවර්ධන වෙත අප්‍රේල් මස 4 වනදා තොරතුරු ලැබී තිබුණා. එම තොරතුර නිලන්ත ජයවර්ධන විසින් විත්තිකරුට ලබාදී තිබුණා. ඉන් අනතුරුව අප්‍රේල් මස 16 වන දා කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරුවා හරිමින් සහරාන් හශීම් ඇතුළු කල්ලිය පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර පෙරහුරුවක් සිදු කර තිබුණා. එම තොරතුරුත් නිලන්ත ජයවර්ධන විසින් මේ විත්තිකරු වෙත ලබාදී තිබුණා. නඩු විභාගයේදී මෙම විත්තිකරු ප්‍රකාශ කර තිබුණේ නිලන්ත ජයවර්ධන විසින් ලබාදුන් තොරතුරු තහවුරු කළ බුද්ධි තොරතුරු නොවන බවයි. පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙරදා එනම් අප්‍රේල් මස 25 වනදා සවස 4.10 ක් 4.15 ත් කාලය තුළ නිලන්ත ජයවර්ධන විසින් විත්තිකරු වෙන වැදගත් තොරතුරක් ලබාදී තිබුණා. සහරාන් හෂින් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් පසුදා කොළඹ හා ප්‍රදාසන්න ප්‍රදේශවල ස්ථාන 08 ක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට එම තොරතුරු තුළින් දැනුම් දෙනු ලැබුවා. අප්‍රේල් මස 16 වනදා මෙම කල්ලිය විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරුවා හරිමින් පෙරහුරුවක්ද සිදු කරනු ලැබුවා. එම තොරතුරු සහ 20 වනදා ලැබුණු තොරතුරු අතර අඛන්ඩ සම්බන්ධතාවයක් දකින්නට තිබුණා. එම තොරතුර බුද්ධි තොරතුරක් වශයෙන් පිළිගතහැකියි” යනුවෙන් විනිසුරුවරයා කියා සිටියා.

ජනප්‍රිය පුවත්  මුදල් අමාත්‍යංශයෙන් නව බදු ඉහළ නැංවීමේ යෝජනා!

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් විත්තිකරු රාජකාරිය නොකර හැර තිබෙන ආකාරය පැහැදිලි කර සිටියා ” ප්‍රහාරය එල්ලවූ දාට පෙරදා සවස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල වීමට නියමිත බවට තොරතුරු ලබාදී තිබුණා. නමුත් එම තොරතුර වැඩිදියුණු කර අවශ්‍ය කටයුතු කිරීමට පොලිස්පතිවරයා වශයෙන් විත්තිකරු කටයුතු කළ යුතුයි. බුද්ධි අංශවලින් වැඩිදුර උපදෙස් ලබාගෙන ඊට අදාළව කටයුතු කළ යුතුව තිබුණා. නමුත් මේ විත්තිකරු පොලිස්පතිවරයා වශයෙන් අදාළ තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කිසිදු පියවරක් අරගෙන නෑ. ප්‍රහාරයට පෙර දින සවස ඊට අදාල තොරතුරු ලැබී තිබුණත් ප්‍රහාරය එල්ලවන තුරු එය වැළැක්වීම සඳහා විත්තිකරු කිසිදු පියවරක් ගත්තේ නැහැ. පොලිසිය තුළ දියුණු සන්නිවේදන ක්‍රමයක් තිබෙනවා. එල්ලවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව සියළුම පොලිස් ස්ථාන ක්ෂණිකව දැනුවත් කිරීමට විත්තිකරුට හැකියාව තිබුණා. පොලිසියේ සිටින සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පහළට මෙම තොරතුර සන්නිවේදනය කිරීමට හැකියාව තිබුණා. තමන් යටතේ පවතින පොලිස් විශේෂ කාර්ය බළකායේ සහය අරගෙන ප්‍රහාරය වැළැක්වීමට පියවර ගතහැකිව තිබුණා. තමන් යටතේ තිබෙන සන්නද්ධ පොලිස් හමුදාව මෙම ක්‍රියාවලිය සඳහා යෙදවීමට හැකියාව තිබුණා. හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ලබා දුන් සාක්ෂියෙන් පැහැදිලි වෙනවා විත්තිකරු එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොතිබූ බව. තමන්ට බුද්ධි තොරතුරු ලැබුණු පසු මේ ප්‍රහාරය වැළැක්වීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නම් එය විත්තිකරු අධිකරණය හමුවේ පැහැදිලි කළ යුතුයි. නමුත් එවැනි පැහැදිලි කිරීමක් කිරීමටත් විත්තිකරු අපොහොසත් වී තිබෙනවා. ඔහු විසින් සිදුකර තිබෙන්නේ තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු FNA (සුදුසු කටයුතු සඳහා) යනුවෙන් සටහන් යොදා පහළ නිලධාරීන්ට යොමු කිරීම පමණයි. එය නීතියෙන් ගැලවී යාම සඳහා විත්තිකරු අනුගමනය කළ ක්‍රියාවක් බවත් පැහැදිලි වෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා සමඟ පැවැති විරසකයක් නිසා ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමන්ව නොකැඳවූ බව මේ විත්තිකරු ප්‍රකාශ කර තිබුණා. එවැනි තත්ත්වයක් තිබී තම රාජකාරි නිසි ලෙස ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණේ නම් විත්තිකරු සිදු කළ යුතුව තිබුණේ තනතුරෙන් ඉල්ලා අස්වීමයි. එසේ නොකිරීමෙන් පැහැදිලි වෙනවා පොලිස්පති වශයෙන් රාජකාරී ඉටු කිරීමට විත්තිකරුට කිසිදු බාධාවක් නොතිබූ බවට. ඒ අනුව මෙම අපරාධය සිදුවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම විත්තිකරු විසින් නොකර හැර තිබෙන බව පැහැදිලියි.” මෙම ක්‍රියාව හරහා මිනිස් ඝාතන සිදු කිරීම සඳහා විත්තිකරු අනුබල දීමක් සිදුකර ඇති බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම නොකර හැරීම තුළ විත්තිකරුගේ මානසික අංගයක් (චේතනාව) තිබූ බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියා ” පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ලවීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින් ඊට පෙරදින තොරතුරු ලබාදී තිබියදීත් එය වැළැක්වීමට විත්තිකරු කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බව පැහැදිලියි. එම තොරතුරු දැනුම්දුන් අවස්ථාවේදී විත්තිකරු නිලන්ත ජයවර්ධනයට ප්‍රකාශ කර තිබෙන්නේ නන්දනට කියන්න… හරි නිලන්ත බලලා කියන්න… නිලන්ත ඔයා රවීට කියන්න යනාදී වශයෙන් පිළිතුරු දීම පමණයි. එය විත්තිකරු විසින් චේතනානවිතව නොකර හැරීමක් සිදු කර තිබෙන බවට සාක්ෂි සපයයි. විත්තිකරු පලපුරුදු පොලිස් නිලධාරියකි. ඔහු යුදමය කලාප වලත් සේවය කර තිබේ. එම නිසා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාන අටක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුනොත් ඒ තුළින් සිදුවිය හැකි ජීවිත හානිය පිළිබඳව ඔහු නොදන්නවා විය නොහැකිය. ඒ පිළිබඳව ඔහුට හොඳ අවබෝධයක් තිබෙන බව විශ්වාස කළ හැකියි. එසේ තිබියදී තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක නොවී නොසැලකිලිමත් ලෙස අදාළ ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම නොකර හැරීම තුළින් ඔහු මිනීමැරීම සඳහා ආධාර අනුබල දී තිබෙනවා. විත්තිකරු තමන්ට ලැබුණු තොරතුර බුද්ධි තොරතුරක් නොවන බව ප්‍රකාශ කර තිබුණා. එය පිළිගත නොහැකියි. එය නිශ්චිත බුද්ධි තොරතුරක් බවට අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂිවලින් පෙනී ගොස් තිබෙනවා” ඒ අනුව විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවත් ඒ අනුව රාජකාරිය නොකර හැරීම සහ මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා වලට ඔහු වරදකරු කරන බවත් බහුතර විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කළා.

ජනප්‍රිය පුවත්  කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් | සලේ ගැනත් කියලා

ඉන් අනතුරුව සුලුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් වීරසූරිය මහතා ” මෙම විත්තිකරුට ලැබුණ තොරතුර තහවුරු කළ තොරතුරක් නොවන බව සාක්ෂි වලින් පෙනී යනවා. අසම්පූර්ණ විමර්ශනයකින් පසුව මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙන බව පැහැදිලියි. දේශපාලන හා ආගමික වුවමනාවන් මත නීතිපතිවරයාට කටයුතු කළ නොහැකිය. අනීතික ආකාරයෙන් කටයුතු කිරීමටද නීතිමතිවරයාට හැකියාවක් නැත. මෙම නඩු පැවරීම සිදු කළ නීතිපතිවරයා විශ්‍රාම යාමට ආසන්නයේ ප්‍රකාශයක් සිදුකර තිබුණා. මෙම නඩු පැවරීමේ දෝෂ පවතින බව ඔහු සිදු කළ එම ප්‍රකාශයේ ගම්‍ය වුණා. මෙවැනි ක්‍රියා හරහා නීතිය අපගමනය වීමේ අවදානමක් තිබෙනවා. නීතියේ ආධිපත්‍ය බිඳ වැටී මහජන විශ්වාසය බිඳීයාමේ අනතුරක් මේ තුළින් ඇති විය හැකියි. පක්ෂ ග්‍රාහී භාවයකින් තොරව නඩු පැවරීම නීතිපතිවරයාගේ කාර්යභාරය විය යුතුයි. මෙවැනි කටයුතු වලට අධිකරණය අත කොලුවක් නොකර ගත යුතුයි. යනුවෙන් කියා සිටියා.

වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් වීරසූරිය මහතා ” ඉදිරිපත් වූ සාක්ෂි දෙස බැලීමේදී ඒවා චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් නෑ. ඒ තුළින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතු කරනවා. මේ සාක්ෂි පිළිගන්න බෑ.” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව මෙම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව වරදකරු කෙරුණු පූජිත් ජයසුන්දර මහතාට දඬුවම් ලිහිල් කිරීම සඳහා කරුණු තිබේ නම් ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විත්තිකරුට දැනුම් දුන්නා.

මේ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොෂාන් දෙහිවල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්” ස්වාමීනි… මෙම විත්තිකරු අවුරුදු 35 ක් පොලිස් සේවයේ සිටි පුද්ගලයෙක්. මේ සිද්ධියට වගකිවයුත්තේ මේ පුද්ගලයා ප්‍රමාණයක නෙවෙයි. තවත් විශාල නිලධාරීන් පිරිසක් සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවකට අනුව ඔහු රුපියල් ලක්ෂ 750ක මුදලක් වන්දි වශයෙන් ගෙන්වා. ඔහුට එරෙහිව තවත් සිවිල් නඩු 299 ක් පමණ තිබෙනවා. ඔහු හම්බ කරපු සියලු දේ වැය කරන්නේ නඩුවලටයි. ඔහුට වයස අවුරුදු 66යි. ඔහුට හෘද රෝගී තත්ත්වයක් තිබෙනවා. දණිස් ආශ්‍රිත රෝගී තත්වයකුත් තිබෙනවා.” මෙම කරුණු සැලකිල්ලට ගෙන විත්තිකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ජනප්‍රිය පුවත්  මාලිමාව දඹුල්ලේ අය වැය දෙවන වරටත් පරාදයි!

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දීලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්” ස්වාමීනි… විත්තිකරු සිදු කර තිබෙන්නේ ඉතා බරපතල වරදක්. එය දැන් අධිකරණය හමුවේ ඔප්පු වී තිබෙනවා. ඒ අනුව දන්ඩ නිති සංග්‍රහයේ 300 වන වගන්තිය යටතේ බන්ධනාගාර ගත වන ආකාරයේ උපරිම දඬුවම් නියම කරන්න” යනුවෙන් ඉල්ලීම් කළා.

ඉන් අනතුරුව මිනීමැරීමට ආධාර අනුබල දීමේ චෝදනා වලට මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර කීමට යමක් කීමට තිබේදැයි බහුතර විනිසුරුවරු විත්තිකාර පූජිත් ජයසුන්දරගෙන් විමසා සිටියා. ඒ අවස්ථාවේදී සංවේදී වූ විත්තිකාර පූජිත් ජයසුන්දර මහතා ” ස්වාමීනී… මම හිතලා කිසිම මිනී මැරීමක් කරලා නෑ. හැමදාම මහජන යහපත වෙනුවෙන් තමයි මම කටයුතු කළේ. මං මේ කටයුතු සියල්ල කළේ නිලධාරීන් සමූහයක් එක්කයි. දැන් සියලු දෙනාම අතෑරලා මාව විතරක් වැරදි කාරයා කරලා තියෙනවා. මං අසරණ වුණා. රැකියාව නැති වුණා. ඉන් පස්සේ මම ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දම්මා මගේ රස්සාව අහිමි කිරීම ගැන. අවුරුදු හතරකින් පස්සේ මගේ නීතිඥවරයා කිව්වා වැඩක් වෙන්නේ නෑ ඒක ඉල්ලා අස්කර ගන්න කියලා. කිසිම දවසක හිතාමතා මම කාටත් වරදක් කරලා නෑ. මේක කරුමේ පලදීමක් හැටියටයි මට හිතෙන්නේ. ” ඒ නිසා මෙම කරුණු අනුකම්පාවෙන් සලකා බලන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින්

” පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. අදාල කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු, පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයර්වර්ධන මහතා විසින් පාස්කු ඉරු දින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙතලබාදී තිබුණා. එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා” යනුවෙන් සඳහන් කළ බහුතර විනිසුරු මඩුල්ල විත්තිකරුට එල්ල කර තිබූ චෝදනා 855 න් චෝදනා 854 කට ඔහු වරදකරු කරන බවත් තීන්දු කළා.

විත්තිකරු සිදුකර තිබෙන වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් අවසානයේදී විනිසුරු මඩුල්ල නියෝග කර සිටියා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x