May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මරණ සහතිකයෙන් වසන් කළ නොහැකි රසායන විද්‍යාව

1 min read

අද ලිපියෙන් අපි ගවේෂණය කරන්න යන්නේ මේ දවස්වල අපි බොහෝ දෙනෙකුගේ හිතට ආපු ප්‍රශ්න කිහිපයක් ගැනයි. පහුගිය දවස් කිහිපයේ ඔබ ප්‍රවෘත්ති එහෙම බැලුවා නම් දකින්න ඇති අභිරහස් ලෙස මිය ගිහින් හිටපු රාජ්‍ය නිලධාරියෙකුගේ මරණය සියදිවි හානි කරගැනීමක් බවට දිනයක් වගේ කෙටි කාලයකින් නිගමනය වෙලා තියෙනවා. ප්‍රවෘත්තිවලට අනුව නම් ඒ නිගමනය කරලා තියෙන්නේ ඒ ස්ථානයට ගිය වෛද්‍ය කණ්ඩායමක්.
ඇත්තටම ඒ වගේ කෙටි කාලයකින් කෙනෙකුගේ මරණය දිවි නසා ගැනීමක්ද, එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් නිසා සිද්ධ වුණු දෙයක් කියලා නිගමනය කරන්න පුළුවන්ද? අද “රස රසායන කතාවෙන්” අපි දේශපාලනය පැත්තකින් තියලා, මේ සිදුවීම දිහා අධිකරණ වෛද්‍ය විද්‍යාව (Forensic Science) සහ ව්‍යවච්ඡේද විද්‍යාව (Anatomy) හරහා බලමු.
වාර්තාවලට අනුව ඔවුන් පවසන්නේ ඔහුගේ අතක සහ කකුල් දෙකේ ප්‍රධාන රුධිර නාල (Veins/Arteries) කපාගෙන මේ “දිවි නසාගැනීම” සිදු කරගෙන ඇතැයි කියන එකයි. අපි මුලින්ම මේ ගැන පොඩි විමර්ශනයක් කරලා බලමු.

1. ප්‍රධාන රුධිර නාල කිහිපයක් කැපීමේ “විද්‍යාත්මක නොහැකියාව”

කෙනෙක් තමන්ගේම අතක සහ කකුල් දෙකේම ප්‍රධාන රුධිර නාල කපාගත්තා යැයි කියන කතාව වෛද්‍ය විද්‍යාත්මකව අතිශය සැක සහිතයි. ඔබේ ශරීරයේ ප්‍රධාන රුධිර නාලයක් (විශේෂයෙන්ම කකුලක ඇති කලවා ධමනිය – Femoral Artery/Vein වැනි දෙයක්) කැපුණු විගසම, ශරීරයෙන් අතිශය වේගයෙන් රුධිරය පිටවෙන්නට පටන් ගන්නවා. මෙහිදී තත්පර කිහිපයක් ඇතුළත රුධිර පීඩනය බිංදුවටම වැටී, මොළයට යන රුධිරය නතර වී කම්පනයක් (Hypovolemic Shock) ඇතිවී පුද්ගලයා සිහිසුන් වෙනවා.
එවැනි තත්ත්වයක් යටතේ, එක් තැනක ගැඹුරු කැපුමක් සිදු කළ පසු, ඉතිරි අවයවවලත් ඒ ආකාරයෙන්ම ඉතා නිවැරදිව සහ ගැඹුරට කැපුම් සිදු කිරීමට තරම් සිහියක් හෝ කායික ශක්තියක් කිසිදු මනුෂ්‍යයෙකුට ඉතිරි වන්නේ නැහැ.
විමසලා බැලුවොත් ඔබටම තහවුරු කරගන්න පුළුවන් වෙයි මේ ආකාරයේ සියදිවි නසාගැනීම් ලෝකයේ දත්ත වාර්තාවල වාර්තා වී නැති තරම් බව.

ජනප්‍රිය පුවත්  දෙමාපියනි, ගුරුවරුනි, දැන් සැපද?

2. සැබෑ අධිකරණ වෛද්‍ය ක්‍රියාවලිය (The Real Forensic Process)

මරණයක් සියදිවි නසාගැනීමක් ලෙස තීරණය කිරීම කිසිසේත්ම එක දවසකින් කළ හැකි මැජික් එකක් නොවෙයි. ඒ සඳහා සම්පූර්ණ කළ යුතු පියවර කිහිපයක් තිබෙනවා:
ලේ පැල්ලම් විශ්ලේෂණය (Blood Spatter Analysis): රුධිරය විදීම සිදුවී ඇති රටාව අනුව කැපුම කළේ කුමන දිශාවෙන්ද, එය කළේ මියගිය පුද්ගලයාද නැතිනම් වෙනත් අයෙක්ද යන්න තීරණය කළ හැකියි.
පසුබට වීමේ සලකුණු (Hesitation Marks): තමන් විසින්ම නාලයක් කපාගන්නා පුද්ගලයෙකුගේ සම මත, ප්‍රධාන කැපුමට අමතරව අවට ඉතා කුඩා, නොගැඹුරු කැපුම් කිහිපයක් දකින්නට ලැබෙනවා (වේදනාව සහ බිය නිසා පසුබට වෙමින් කරන කැපුම්). ඝාතනයකදී මෙවැනි සලකුණු දකින්නට ලැබෙන්නේ කලාතුරකින්.
ආරක්ෂණ තුවාල (Defense Wounds): ඝාතකයෙක් පහර දෙන විට පුද්ගලයා එය වැළැක්වීමට උත්සාහ කරන නිසා අත්වල සහ ඇඟිලිවල තුවාල සිදුවෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේවා ඉතා සූක්ෂමව පරීක්ෂා කළ යුතුයි.

3. දිනකින් කළ නොහැකි “විෂවේද වාර්තාව” (Toxicology Report)

මෙය තමයි වැදගත්ම රසායනික සාක්ෂිය. බොහෝ ඝාතන සියදිවි නසාගැනීම් ලෙස පෙන්වීමට, ඝාතකයින් විසින් මියගිය පුද්ගලයාට කලින් නිදිපෙති, මත්ද්‍රව්‍ය හෝ වෙනත් විෂක් (Sedatives/Poisons) ලබාදී සිහිසුන් කර පසුව නාල කපා දමනවා.
මෙය එසේ වීදැයි දැනගැනීමට සිරුරේ රුධිරය, මුත්‍රා සහ ඇසේ තරලය (Vitreous humor) ලබාගෙන රසායනාගාරවල විෂවේද පරීක්ෂණ (Toxicology tests) සිදු කළ යුතුමයි. ලෝකයේ කෙතරම් දියුණු රටක වුවත්, මේ පරීක්ෂණවල ප්‍රතිඵල ලබාගැනීමට අවම වශයෙන් සති 2 ත් 6 ත් අතර කාලයක් ගතවෙනවා. විෂවේද වාර්තාවක් නොමැතිව, මරණයට සැබෑ හේතුව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම විද්‍යාවට පටහැනි ක්‍රියාවක්.

ජනප්‍රිය පුවත්  වමෙන් දකුණට නෙලීම

4. මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණය (Psychological Autopsy)

සියදිවි නසාගැනීමක් ලෙස තීන්දු කිරීමට පෙර, අපරාධ විමර්ශකයින් විසින් මියගිය අයගේ මානසික තත්ත්වය, අවසන් දින කිහිපයේ හැසිරීම, දුරකථන වාර්තා සහ තර්ජන තිබුණාද යන්න විමර්ශනය කළ යුතුයි. එය දින භාගයකින් කළ හැකි දෙයක් නොවෙයි.

Dr. C ගෙන් සටහනක්:
මම ඔබට යෝජනාවක් කරනවා මේ කරුණු විමසා බලන්න කියලා. විද්‍යාව කියන්නේ බොරු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රුධිර පීඩනය බිංදුවට වැටෙන කෙනෙකුට තවත් තැන් කිහිපයක් කපාගන්න හැකියාවක් තියෙනවද? සති ගණනක් ගතවන විෂවේද වාර්තා නැතිව එක දවසින් “සියදිවි නසාගැනීමක්” කියලා නිගමනය කරන්න කිසිම විද්‍යාත්මක පදනමක් තිබෙනවාද? සාමාන්‍යයෙන් දින ගණනක් ගතවෙන නිගමනයක් මේ ආකාරයේ කලබලකාරී ලෙස ලබා දීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? විමසීම සහ නිගමනය ඔබ සතුයි.

ආචාර්ය සාරථි රත්නායක සහ තවත් කෙනෙක් ලියපු ලිපියක්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x