බාල ගල් අඟුරු නිසා නොලැබුන විදුලිය උපදවන්න රුපියල් බිලියන 4.5 ක් වැය වෙලා !
1 min read
ගෙන එන ලද බාල ගල් අඟුරු නිසා, නොරොච්චෝල විදුලිය බලාගාරයට නියමිත විදුලිය ධාරිතාව නිපදවීමට නොහැකිවීම නිසා, එම අඩුව පිරවීමට කෙළවරපිටිය සොභාදනවි බලාගාරයෙන් ඩීසල් යොදවා විදුලිය නිපදවීමට මාස 4 කට රුපියල් බිලියන 4.5 ක් වැය වූ බව විශේෂ ජනාධිපති ගල් අඟුරු පරීක්‍ෂණ කොමිෂන් සභාවේ දී අණාවරණය විය. ඒ, පසුගිය 16 වැනිදා එම කොමිෂම හමුවේ සාක්කි ලබාදීමට ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක බුද්ධික සංජීව සමරසිංහ සහ ලංකා විදුලි ජනන පුද්ගලික සමාගමේ මහාචාර්ය සාලිය ජයසේකර සහභාගි වූ අවස්ථාවේ දී ය.
ගෙන එන ලද ගල් අඟුරු නියමිත ප්‍රමිතියේ පැවතියේ නම්, මාස 4 කට රුපියල් බිලියන 4.5 ක් වැය කිරීමට සිදු නොවන බව ද ඒ අනුව අදාළ කොමිෂම හමුවේ පැහැදිලි විය.
ගෙන එන ලද ගල් අඟුරු ලංකාවට ගෙන ඒමට පෙර, ඒවා පටවන ලද වරායේ (Loading Port) පරීක්ෂණ වාර්තාව මත පදනම්ව ගෙවිය යුතු මුදලෙන් 80% ක් ගෙවීමට සිදුවන පරිදි මෙම බාල ගල් අඟුරු ටෙන්ඩරයේ ටෙන්ඩර් කොන්දේසි වෙනස් කර ඇති බවද මෙහි දී අණාවරණය විය. ඒ අනුව මෙරටට අදාළ ගල් අඟුරු ගෙන ඒමෙන් පසු සිදු කරනු ලබන පරීක්ෂණ වාර්තා මත කුමන තීරණය ගත්තත්, ඒ වනවිට ගෙවීමට ඉතිරිව ඇත්තේ මුළු මුදලින් 20% ක ප්‍රමාණයක් පමණී.
ගෙන එන ලද ගල් අඟුරුවල තාප දර්ශකය ඉතා පහල මට්ටමක පැවැති බවද, ජාත්‍යන්තර ආයතන මගින් ද එය සනාථ කර තිබෙන බවද එහි දී වැඩිදුරටත් අණාවරණය වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සභාපතිත්වය දරන මෙම විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂමේ අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න ද සාමාජිකත්වය දරනු ලබන්නේ ය.
- දැහැමි ගුණතිලක
