නව මහේස්ත්‍රාත්වරු බඳවාගැනීමේ මහා වංචාවක් !
1 min read
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෑතකදී බඳවාගත් නව මහේස්ත්‍රාත්වරු තිස්තුන්දෙනා බඳවාගැනීමේ දී දේශපාලන උවමනාව මත සුදුසුකම් රහිත, පුද්ගලයන් ගණනාවක් ද බඳවාගෙන ඇතැයි වාර්තා වේ.
මේ සඳහා පසුගිය පෙබරවාරි මස පැවැති මහේස්ත්‍රාත් විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණේ පසුගිය අප්‍රේල් මාසයේ දී ය. අවම ලකුණු ප්‍රමාණය (සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබීමට) ලෙස 46 ලකුණු හෝ ඊට වැඩි ලෙස සඳහන් කර ඇත්තේ, එම විභාගයට සහභාගි වූ ජ.වි.පෙ. ලයිස්තුවේ පුද්ගලයන් ගෙන තිබුණේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් නිසාය.
කෙසේ වෙතත්, සම්මුඛ පරීක්ෂණයේ දී තමන්ට අවශ්‍ය අඩු ලකුණු ලබාගත් පිරිස ද තෝරාගත් කණ්ඩායමට ඇතුලත් කර ගැනීමට අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන කටයුතු කර තිබේ. මහේස්ත්‍රාත්වරුන් 50 ක් බඳවාගැනීමේ අවශ්‍යතාව අධිකරණ සේවා කොමිෂම අධිකරණ අමාත්‍යාංශයට දන්වා තිබුණ ද මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබුණේ 33 දෙනෙකු පමණක් බඳවාගැනීමට ය.
සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් 179 දෙනාගෙන් 33 දෙනෙකු පමණක් තෝරා ගැනීමේ දී ඉහළ ලකුණු ලබාගත් පිරිසෙන් කොටසක් ඉවත් කර, තෝරාගත් 33 අතරට ලකුණු අඩු ජ.වි.පෙ. හිතවාදින් ඇතුලත් කර ඇත. එම ලකුණු අඩු පිරිස අතර, ලකුණු 48,47,46 වැනි ලකුණු ලබාගත් 13 දෙනෙක් ඇතුලත්ව ඇත. ලකුණු 55 ට වඩා අඩුවෙන් ලබාගත් 18 දෙනෙක් මීට ඇතුලත්ව ඇත.
මෙම අඩු ලකුණු හිමිකරගෙන තෝරාගෙන ඇති පිරිසගේ ඇතැමුන් නීතීඥයකු ලෙස අධිකරණයේ නඩු කටයුතුවලවත් නිරත වී නැතැයි අපගේ ආරංචිමාර්ග කියයි.
මෙවර ඉතිහාසයේ පළමු වතාවට මෙම විභාගයට ඉදිරිපත්වීමේ සුදුසුකම් ද පහත හෙලන ලද්දේ ජ.වි.පෙ. ගැත්තන් මහේස්ත්‍රාත්වරු බවට පත්කර ගන්නට ය. නිතිීඥයකු ලෙස වසර 4 ක තිබිය යුතු පලපුරුද්ද මෙවර වසර 3 දක්වා අඩු කර තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණ විනිසුරුවකු යටතේ පර්යේෂණ නිලධාරිවරයකු ලෙස කටයුතු කර තිබීම ද විභාගයට සහභාගිවීමට සුදුසුකමක් බවට පත් කර තිබුණි. එය ද ඉතිහාසයේ පළමු වතාවට ය.
තෝරා නොගත් පිරිස අතර, තෝරගත් කණ්ඩායමට ඇතුලත් විය යුතු දක්ෂයින් සිටියද, කලින් සකස් කරන නාමලේඛනයට අනුව තෝරාගැනීම සිදුකිරීම නිසා දක්ෂයින් සැලකියයුතු පිරිසක් මෙහිදී කපා හැර තිබේ.
අගවිනිසුරුවරයාගේ පුතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ පුතා ද මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වී තිබිණි. එමෙන්ම, සබරගමුව ආණ්ඩුකාර චම්පා ජානකී විජේරත්නගේ පුතා ද මේ සඳහා ඉදිරිපත්ව තිබේ.
නව මහේස්ත්‍රාත්වරු බඳවාගැනීමේ දී මෙලෙස දේශපාලන අතපෙවීම් සිදුව ඇති බරපතලම අවස්ථාව මෙය බව නීති ප්‍රවීණයෝ පෙන්වා දෙති.
- කලිඳු රණවීර
