තෙලේ බලෙන් මාළු මිල නගී
1 min read
ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් මේ වනවිට මුහුදේ පවතින වාරකන් තත්ත්වයත් නිසා ඉකුත් වසරවලට වඩා මෙම වසරේ මාළු තොග මිල විශාල ලෙස වැඩිවී ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණ වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි ‘අරුණ’ ට පැවැසීය.
ඒ අනුව සාලයා කිලෝවක් රුපියල් 900 දක්වාත්, හුරුල්ලා කිලෝව රුපියල් 1300 ත්, තලපත් කිලෝව රුපියල් 2200 ක්, කොප්පරා කිලෝව රුපියල් 2400 ක්, කෙළවල්ලා කිලෝව රුපියල් 2000 ක්, බලයා කිලෝවක් (ලොකු) රුපියල් 1400 දක්වාත්, බලයා (පොඩි) රුපියල් 1000 දක්වාත්, කුම්බලා කිලෝව රුපියල් 1500 දක්වාත්, දැල්ලා කිලෝව රුපියල් 2000 දක්වාත් තොග මිල ගණන් ඉහළ ගොස් ඇතැයිද ඔහු කියයි.
මෙයාකාරයට තොග මිල ගණන් විශාල ලෙස ඉහළ යාමත් සමග වෙළෙඳාමද බරපතළ ලෙස කඩා වැටී ඇතැයිද වික්‍රමාරච්චි පවසයි.
මාදැල් මගින් මසුන් ඇල්ලීම තහනම් කර තිබෙන බැවින් කුඩා බෝට්ටු මගින් සාලයා වැනි මාළු ඇල්ලීමත් සීමාවී ඇති අතර මේ හේතුවෙන් සාලයා මිල ගණන්ද දරාගත නොහැකි තරම් වැඩිවී ඇතැයිද ඔහු සඳහන් කරයි.
සෑම වසරකම මැයි, ජුනි මාසවල වාරකන් හේතුවෙන් මාළු මිල ගණන් යම් පමණකින් ඉහළ යන බවත් මෙවර නොසිතූ තරමට මාළු හිඟවීමත් සමග මාළු මිල ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත් ලබන 29 වැනිදාට යෙදෙන පොසොන්වලින් පසු ක්‍රම ක්‍රමයෙන් මාළු මිල යළි පහළ යනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය.
