තංගල්ල මුහුදේ පාවෙමින් තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගැනේ
1 min read
තංගල්ල මුහුදේ පාවෙමින් තිබූ 19 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි.
මිය ගිය තරුණයා තංගල්ල ගොඩැල්ලවෙල පදිංචි ජුවානා හැන්නදිගේ චමිදු දිල්ෂාන් නමැති අයකු බව හඳුනාගෙන ඇත.
මරණකරු පසුගිය 09 වෙනිදා තංගල්ල මාවැල්ල මහගලගාව වෙරළ තීරයේ බිලී පිත්තක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිට තිබේ.
එම අවස්ථාවේදී හදිසියේ ආ රළ පහරකට මෙම තරුණයා හසුව ගසාගෙන ගොස් ඇති බව සඳහන්ය.
ඉන් අනතුරුව ප්‍රදේශවාසීන්, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ නාවික හමුදාව එක්ව අතුරුදන් වූ තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කළ ද ඔහු සොයා ගැනීමට හැකිව නැත.
කෙසේවෙතත් අදාළ තරුණයාගේ මළ සිරුර මාවැල්ල මුහුදු තීරයේ පාවෙමින් තිබියදී ඊයේ (11) පස්වරුවේ ධීවරයන්ට හමුව ඇති අතර එය බෝට්ටුවකින් වෙරළ තීරයට රැගෙන ඒමට ඔවුන් කටයුතු කර තිබේ.
තරුණයාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් සිදු කරනු ලබයි.
