July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චීනයේ ඉහළම සාහිත්‍ය සම්මානය දිනාගත් 56 හැවිරිදි කෑම බෙදාහරින්නා..

1 min read

ආහාර ඇණවුම් බෙදාහරින අතරතුර මඟතොටදී තමන්ට හමුවන කුඩා කොළ කැබලිවල ලියූ අපූර්ව කවි පෙළක් හේතුවෙන් 56 හැවිරිදි චීන ජාතික වං ජිබිං (Wang Jibing) චීනයේ කීර්තිමත්ම සාහිත්‍ය ඇගයීමක් වන ‘ලූ ෂුන් සාහිත්‍ය සම්මානය’ (Lu Xun Literary Prize) දිනා ගැනීමට සමත්ව තිබේ. ඔහු මෙම සම්මානයට පාත්‍ර වූයේ ආහාර බෙදාහරින්නන් එදිනෙදා මුහුණ දෙන දැඩි අභියෝග, දුක්ගැහැට සහ සැබෑ ජීවන අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද ‘Low Flight’ නමැති කවි එකතුව වෙනුවෙනි.

චීනයේ ජියැංසු පළාතේ උපත ලැබූ වං, කුඩා කල පැවති දැඩි පවුල් ආර්ථික අපහසුතා නිසාම අධ්‍යාපනය පවා අඩාල කරගත් අයෙකි. පසුව ඔහු ජීවිතය ගැටගසා ගැනීම සඳහා ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයෙකු, අපද්‍රව්‍ය එකතු කරන්නෙකු මෙන්ම පදික වේදිකාවේ වෙළෙන්දෙකු ලෙසද විවිධ වෙහෙසකර රැකියාවල නිරත විය. ඉන් අනතුරුව 2019 වසරේදී ඔහු ආහාර බෙදාහැරීමේ රියදුරෙකු ලෙස සේවයට එක් වූ අතර, එතැන් පටන් සමාජ මාධ්‍ය ඔස්සේ තම නිර්මාණ මුදාහරිමින් කාගේත් අවධානය දිනාගත්තේය.

ඔහුගේ ජනප්‍රියත්වයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වූයේ 2019 දී පාරිභෝගිකයෙකු ලබාදුන් වැරදි ලිපිනයක් නිසා විඳින්නට වූ දුෂ්කර අත්දැකීමක් මුල් කරගෙන ලියූ ‘Man in a Hurry’ කවියත් සමඟිනි. 2022 වසරේදී අන්තර්ජාලය පුරා ලැව්ගින්නක් සේ ප්‍රසිද්ධ වූ මෙම කවියෙන් පසුව, 2023 වසරේදී ඔහු එම නමින්ම තම ප්‍රථම කවි පොත ද එළිදැක්වීය.

ජනප්‍රිය පුවත්  විමල්ගෙන් රුපියල් කෝටි 600 ක් ඉල්ලා හේලිස් සමාගම සහ කිංග්ස්බරි හෝටලයෙන් එන්තරවාසී තුනක් - දින 10 කින් නොගෙව්වොත් නඩු දානවා - සමාගම් කියයි

ඉන් නොනැවතුණු ඔහු, 2024 වසරේදී ප්‍රකාශයට පත් කරමින් සම්මානයට පාත්‍ර වූ ‘Low Flight’ කවි එකතුව සකස් කිරීම සඳහා තමන් වැනිම ආහාර බෙදාහැරීමේ නිරත සහෝදර රියදුරන් 200කගේ පමණ සැබෑ ජීවිත අත්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා උපයෝගී කරගෙන තිබේ.

රටේ ඉහළම සාහිත්‍ය ඇගයීමට ලක් වුවද, වයස අවුරුදු 60 වන තෙක්ම තම ආහාර බෙදාහැරීමේ රැකියාව අත්හැරීමට වං බලාපොරොත්තු නොවේ. මෙම සරල රැකියාව තමන්ව ශාරීරිකව නිරෝගීව තබන බවත්, සාමාන්‍ය මිනිසුන් අතර සරල ජීවිතයක් ගත කිරීමට එය උපකාරී වන බවත් ඔහු පවසයි. චීනයේ සාමාන්‍ය ශ්‍රමික පන්තියේ ජනතාව තම සැබෑ ජීවන අත්දැකීම් සාහිත්‍යයට නැගීමේ නව ප්‍රවණතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස වං ජිබිංගේ මෙම ජයග්‍රහණය හැඳින්විය හැකිය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x