කතානායකට එරෙහි චමින්දගේ නඩුව ගැන ඇපැල් උසාවියෙන් නියෝගයක්
1 min read
තමන්ගේ සේවය තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් කතානායකවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුලි මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
ඒ, මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට සූදානම් බව සඳහන් කළේය
එම අවස්ථාවේදී අදාල පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකරන බව පැවසුවේය.
සෙසු වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින බිමල් රත්නායක සහ අනිල් ජයන්ත යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් සහ තවත් වග උත්තරකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් ද පැවසුවේ මෙම නඩුකරය සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරන බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුලි මස 20 වනදා කැඳවන ලෙස නියම කළේය.
කිසිදු සාධාරණ විමර්ශනයක් නොපවත්වා සිය වැඩ තහනම් කිරීමට කතානායකවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
