ගං කොමළියන්ගේ සිනහව පහව යයි!
1 min read
වියළි කාලගුණික තත්ත්වය සමග දිවයිනේ මහවැලි, කැලණි, වලවේ, කළු, නිල්වලා ඇතුළු දිවයිනේ ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම ක්‍රමයෙන් පහළ බසිමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගංගා ජල මට්ටම් සැලකියයුතු මට්ටමක පහළ අගයක පවතින බවත්, ගංගා ආශ්‍රිත ප්‍රදේශ වලින් සැලකියයුතු වර්ෂාපතන තත්ත්වයක් වාර්තා නොවන බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එල්.එස්.සූරිය බණ්ඩාර පැවසීය. නිල්වලා ගඟේ සල්ගහගොඩ ජල මාපකයේ මට්ටම මුහුදු ජලය ගලා එන මට්ටමක පවතින බවද ඔහු කීවේය.
මඩකලපුව ආදී ප්‍රදේශවල වැව්වල ජලය වගා කටයුතු සඳහා නිකුත් කිරීමේදී ඇතැම් ගංගාවල සුළු වැඩිවීමක් නිරීක්ෂණය වන බවත්, එය අඛණ්ඩව සිදුවන කටයුත්තක් නොවන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියේය. වර්ෂාපතනය අඩුවන තත්ත්වයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනවල සඳහන් බවත්, සාමාන්‍ය රටාව අනුව මාර්තු මස මැද පමණ වනවිටදී සාමාන්‍ය වැසි කීපයක් ඇද හැලෙන නමුත්, ඉකුත් දින කීපය තුළදී දකුණු පළාත ආශ්‍රිතව සහ කළු ගඟ ආශ්‍රිතව කුඩා වැසි වාර කීපයක් වාර්තා වූ බවත් ඔහු පැවසුවේය. තෙත් කලාපයෙන් මිලි මීටර් 50 ක පමණ වර්ෂාපතන තත්ත්වයන් වාර්තා වූවද, එය අඛණ්ඩව නොපවතින බවද ඔහු කීවේය. ප්‍රමාණවත් පරිදි වර්ෂාපතනය නොලැබුණහොත් කැලණි ගං මෝය හරහා ලවණ ජලය ඉහළට ගලා ඒමේ අවදානමක් පැවැතිය හැකි බවත්, එසේ වුවහොත් අඹතලේ ජල පොම්පාගාරය ආශ්‍රිතව ලවණ බාධකයක් ඉඳිකිරීමට සිදුවනු ඇතැයිද වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියයි.
ගංගාවල ජල මට්ටම අඩුවන වේගය ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මහවැලි, වාරිමාර්ග ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 80 ඉක්මවූ අගයක තිබෙන බවත්, විදුලි ජනන කටයුතු සඳහා මහවැලි ජලාශවලින් ඉල්ලුම් කරන ජල ප්‍රමාණය එලෙසම සපයන බව මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණික සේවා) නිලන්ත ධනපාල පැවසීය.
දැනට පවතින උණුසුම් තත්ත්වය මැයි මාසයේ මැද දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පැවසීය. උණුසුම් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් අඩුවන්නේ නිරිත දිග මෝසම ආරම්භවීමෙන් පසුව බවද ඔහු කීවේය.
කෙසේ නමුත්, අප්‍රේල් මස දෙවන සතිය පමණ වන විටදී අන්තර් මෝසම් වැසි බලාපොරොත්තුවීමට හැකි බවද, ඒ අනුව සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වියහැකි බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය. වායුගෝලීය උණුසුම සමග ගංගා, ජලාශවල ජලය වාෂ්පවන ප්‍රමාණය ඉහළ යන බවද ඔහු කීවේය. උණුසුම් තත්ත්වය සමග භූගත ජල මට්ටම ක්‍රමයෙන් පහළ බසින් බවද ඔහු කීවේය.
වියළි කාලගුණික තත්ත්වය ගත්විට මේ වසරේ විශේෂ තත්ත්වයක් නොමැති බවද, පවතින්නේ සාමාන්‍ය රටාවම බවද අධ්‍යක්ෂවරයා පැවසීය. මේ අතර, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේය. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ කොළඹට ජලය සපයන ලබුගම, කලටුවාව ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ බැස තිබෙන බවය. එය කලබලවීමට තරම් කාරණයක් නොවූවත්, නියඟයේ බලපෑම පවතින බවද එම නිලධාරියා පැවසීය. කෙසේ නමුත්, ජල සැපයුම අඛණ්ඩව සිදු කරන බවද ඔහු පැවසීය.
කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළ බසිද්දී ලවණ බාධකය සකස් කර තිබෙන බවත්, කෙසේ නමුත්, කැලණි ගඟෙන් දැනෙන ප්‍රශ්නයක් තවම උද්ගතවී නැතැයිද ඔහු කීවේය. උණුසුම ඉහළ යාමත් සමග ජනතාවගේ ජල භාවිතය විවිධ කාරණා නිසා ඉහළ යන බවත්, ඇතැමුන් වැඩිපුර ස්නානය කරන බවත්, මල්වලට ජලය වැඩියෙන් යොදන බවද ඔහු පැවසීය. එම භාවිතය ඉහළ යාමත් සමග උස් ප්‍රදේශවලට ජලය ලැබෙන ප්‍රමාණය අඩුවන බවද ඔහු සඳහන් කළේය. ඒ නිසා මේ අවස්ථාවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් බවද ඔහු පැවසුවේය.
