October 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නීතිවිරෝධීව දුම්වැටි තොගයක් රැගෙන ආ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

1 min read

රුපියල් ලක්ෂ 84කට අධික වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු සහ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක සිටින බව වාර්තා වේ.

පළමු සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් විශ්‍රාම ගොස් සිටින, මීට පෙර ගුවන් තොටුපොළේ සේවය කළ පොලිස් නිලධාරියෙකි. ඔහු අද (19) අලුයම 2.13ට සාජා සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

එහිදී ඔහු රැගෙන ආ ගමන් මලු දෙකක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථය අසල අතහැර දමා පළා යමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම ගමන් මලු පරීක්ෂා කිරීමේදී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 35,600ක් අඩංගු කාටූන් 178ක් සොයාගෙන තිබේ. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදී ඇත.

ජනප්‍රිය පුවත්  2016 එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ නඩුව යළි කැඳවයි |වරෙන්තුව ආපසු කැඳවීමේ මෝසම ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් අවසර

මේ අතර, ඩුබායි සිට අද (19) අලුයම 1.15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණි 54 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක ද දුම්වැටි තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සිය ගමන් මලු තුළ සඟවාගෙන තිබූ විදේශීය දුම්වැටි 21,000ක් අඩංගු කාටූන් 105ක් ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව මේ වනවිට පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඇය සහ ඇය සන්තකයේ තිබූ දුම්වැටි තොගය සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය කටයුතු සඳහා ඔක්තෝබර් 27 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x