ගල් අඟුරු වංචාවට G.M. බිල්ලට !
1 min read
ජනාධිපතිවරයා පත් කරන ලද, ගල් අඟුරු වංචාවන් පිළිබඳ විමර්ශනය කරනු ලබන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව, එහි සභාපති ගිහාන් කුලතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ද රැස්වී තිබේ. එහිදී පස්වරු 1 ට පමණ සාක්ෂි විමසීම සඳහා කැඳවා ඇත්තේ ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීම සහ සැපයීම භාරව කටයුතු කරන රජයට අයත් සමාගමක් වන ලංකා ගල් අඟුරු සමාගම (Lanka Coal Company) හි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේව ය.
සවස 6.30 වන තුරු ප්‍රශ්න කිරීමට ලක් කර ඇති නාමල් හේවගේ වෙතින් අදාළ කොමිෂමේ විනිසුරන් විසින් විමසා ඇත්තේ, රඛිත රාජපක්ෂ යන අයට සාමාන්‍යාධිකාරීවරයා විසින් ලබා දී තිබෙන ලිපියක් පිළිබඳවය.
එහිදී නාමල් හේවගේ ප්‍රතිචාර දක්වා ඇත්තේ, අදාළ ගල් අඟුරු ගනුදෙනුවට රඛිත රාජපක්ෂගේ සම්බන්ධතාවක් නැති බවට සඳහන් කර තමන් එම ලිපිය ලබා දුන්නේ තම ආයතනයේ සභාපති ජයන්ත රත්නායකගේ ඉල්ලීම පරිදි බවයි.
ඒ අතරතුර, ලංකා ගල් අඟුරු සමාගම පුරප්පාඩුවක් ඇති බව දන්වා පුවත්පත් දැන්වීම් ඵල නොකර තිබියදී එම ආයතනයේ සාමාන්‍යාධිකාරී තණතුරට පත් වූයේ කෙසේද වැනි ප්‍රශ්න ද කොමිෂමේ විනිසුරුවන් විසින් විමසා තිබේ. නාමල් හේවගේ සතුව ඇති කෘෂිකර්ම උපාධිය මෙවැනි තණතුරක් දැරීමට සුදුසු වන්නේ කෙසේද යනාදී ප්‍රශ්නද මෙහිලා විමසා ඇත.
සවස 6.30 වන තුරු පැවැති මෙම ප්‍රශ්න කිරීම් දෙස ඉතා අවධානයෙන් සවන් දී සිටි අපගේ විමර්ශන අංශයේ නිගමනය වී ඇත්තේ, කුමාර ජයකොඩි අමාත්‍යවරයාගේ උවමනාව පරිදි සිදු කෙරුණු බාල ගල් අඟුරු මගඩියට, ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා බිල්ලට දී අත පිසදා ගැනීමට කොමිෂම සැලසුම් කර තිබෙන බවයි.
එම ආයතනයේ සභාපති ලෙස ක්‍රියා කරන, මීට පෙර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද ජයන්ත රත්නායක ගල් අඟුරු සැපයුම්කරුවන් ආමන්ත්‍රණය කරන්නේ “සර්” කියාය. ඔහුව එම ආයතනයේ සභාපති ධුරයට පත්කර ඇත්තේ අමාත්‍ය වසන්ත සමරසිංහ විසිණි. සාමාන්‍යාධිකාරිවරයාට, රඛිත රාජපක්ෂ වෙත අදාළ ලියුම ලබා දෙන ලෙස උපදෙස් දී ඇත්තේ සභාපති ජයන්ත රත්නායකය.
මෑතකදී ඔහු ජයසුන්දර නැමැති ගල් අඟුරු සැපයුමේ දේශීය නියෝජිතයකු වෙත කරන ලද ඉල්ලීමක් පරිදි “සෝෆා පුටු කට්ටලයක්” ද ලංකා ගල් අඟුරු ආයතනය වෙත ලබාගෙන තිබේ. නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද අදාළ ආයතනයේ සභාපති ජයන්ත රත්නායක පිළිබඳව අසතුටට පත්ව ඇතත්, අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් සිදු කරන ලද පත් කිරීමක් මත එයට එරෙහිව නොයා සිටීමට ආරක්‍ෂාකාරී වී ඇතැයි වාර්තා වේ.
අපගේ විමර්ශන අංශය පවසන්නේ බාල ගල් අඟුරු මගඩියට අදාළව මෙතෙක් හෙළි නොවුණු දැවැන්ත රහස් ප්‍රමාණයක් නුදුරු කාලයේ දී අණාවරණය වීමට නියමිත බවය.
පාර්ලිමේන්තු යටිතල පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ පිළිබඳව විමර්ශනය කර නිකුත් කරන ලද අවසන් වාර්තාවට අනුව, මෙම බාල ගල් අඟුරු මගඩිය විසින් සිදු කර තිබෙන සම්පූර්ණ පාඩුව රුපියල් බිලියන 17.965 ක් (රුපියල් මිලියන 17,965 ක්) වේ. මෙය මහා බැංකු බැඳුම්කර වංචාව මෙන් එකහාමාරක ගුණයකින් වැඩි පාඩුවක් වේ
- ශවින්ද්‍ර සමරසිංහ
