කොටස් වෙළඳපොළ තවදුරටත් කඩා වැටේ ! 2025 ට සාපේක්ෂව පැහැදිලි පසුබෑමක් !
1 min read
කොළඹ කොටස් වෙළඳපොළ 2025 පළමු මාස 8 තුළ පැවති තත්ත්වයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 8 තුළ බරපතල පසුබෑමකට ලක්ව ඇතැයි, කොළඹ කොටස් වෙළඳපොළ දත්ත පෙන්වා දේ.
2025 ඔක්තෝබර් මුල් සතිය වන විට කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ ඉතාම ඉහළ වාර්තාගත මට්ටම කරා ලඟා වෙමින් පැවතිය ද, 2026 වසරේ වත්මන් වෙළඳපොළ දර්ශක ඊට වඩා සැලකියයුතු ලෙස පහළ මට්ටමක පවතී. 2025 ඔක්තෝම්බර් 02 වන විට ASPI දර්ශකය අඛණ්ඩව දින 13 ක් පුරා ඉහළ යමින් ඒකක 21,951.79 ඓතිහාසික වාර්තාගත මට්ටම ළඟා වී තිබුන ද, වර්තමානය වන විට (2026 ඔක්තෝබර් 07 දත්ත අනුව) එම අගය ඒකක 20,517.55 ක් දක්වා පහත වැටී තිබේ. ඒ අනුව 2025 වසරේ මෙම කාලයට සාපේක්ෂව වත්මන් ASPI දර්ශකය 7.15% ක සමස්ත පහළ යාමක් පෙන්නුම් කර ඇත.
2025 මෙම කාලය තුළ කොටස් වෙළඳපොළ තුළ ඉහළ ආයෝජන උනන්දුවක් පැවති අතර දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.52 වැනි ඉතා ඉහල අගයක් ගෙන තිබුණි. එහෙත් 2026 මේ වන විට ආයෝජකයන් නව මිලදී ගැනීම් වලින් වැලකී සිටීම හේතුවෙන් දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.96-1.97 වැනි සාපේක්ෂව අඩු මට්ටමකට සීමා වී තිබේ.
මේ වන විට කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන දර්ශක දෙකම අඛණ්ඩව සිව්වන දිනටත් පහළ යමින් ඊයේ (07) ගනුදෙනු අවසානයේ ද පහළ යාමක් වාර්තා කර ඇත. මේ තත්ත්වය තුළ LOLC Holdings සහ Colombo Dockyard වැනි ප්‍රධාන සමාගම් කිහිපයක කොටස් මිල පහළ යාම මේ සඳහා විශේෂයෙන් බලපා තිබේ. ආයෝජකයන් විසින් කොටස් විකිණීමට වැඩි නැඹුරුවක් දැක්වීම හේතුවෙන් එම වෙළඳපොළ මෙලෙස සෘණාත්මක අගයක් ගෙන තිබේ.
මේ අතට 2026 වසරේ මුල් මාස 8 තුළ පමණක් සමස්ත විදේශීය ආයෝජකයන් කොටස් වෙළඳපොලෙන් ඉවත්වීම මත රුපියල් බිලියන 55.7 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 165.5 ක්) කොටස් වෙළඳපොළෙන් ඉවතට ගලා ගොස් ඇත.
කොටස් වෙළඳපොළ යනු රටක ආර්ථිකයේ සැබෑ පිළිබිඹුවක් (Economic Barometer) ලෙස සලකන තත්ත්වයක් තුළ එහි වර්ධනය වන මෙම දැඩි පසුබෑම සුළුකොට තැකිය නොහැකි බව මූල්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.
මේ අතර, සමස්තයක් ලෙස 2025 වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව රට තුළට ලැබුණු ශුද්ධ විනිමය ප්‍රමාණයට සාපේක්ෂව මේ වසරේ එම කාලය තුළ යම් වර්ධනයක් පෙන්වා ඇතත්, එම ආදායමට වඩා (ඩො.බි. 9.37) ආනයන වියදම් (ඩො.බි. 16.55) වේගයෙන් ඉහළයාම නිසා 2025 පැවැති වෙළෙඳ හිඟය ඩො.බි. 4.26 සිට මේ වසරේ දී මේ වන විට ඩො.බි. 7.18 ක් දක්වා සැලකිල්ල යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මෙම පරතරය ඉදිරියේ දී තව තවත් වැඩිවීමට ඇති හේතු සාධක වැඩි බව මූල මූල්‍ය ප්‍රවීණයන්ගේ මතය වී ඇත.
- උදුල විජේමුණි
