ගීතවල කර්තෘභාගය අය කරන බලපත්‍ර ක්‍රමය ගැන තීරණයක්…!
1 min read
පෞද්ගලික සාද, ප්‍රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණවල මුල් රචකයන්ට හා සංගීත අධ්‍යක්ෂවරුන්ට අදාළ කර්තෘභාගය අය කිරීමේ යෝජිත බලපත්‍ර ක්‍රමය දැනට ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.
මේ අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රය මුල් කර ගනිමින් අභූත චෝදනා සමාජගත කර ඇති බව එම සංගමයේ සභාපති නිලාර් එන්. කාසිම් මහතා කියයි.
මෙය කිසිසේත් රජය අය කරන බද්දක් නොවන බව පැවසූ ඔහු එය නිර්මාණකරුවන් වෙනුවෙන් අය කරන කතෘභාගයක් පමණක් බවද අවධාරණය කළේය.
අය කර ගන්නා අදාළ කතෘ භාගය ඒ සාමාජිකයන් වෙතටම බෙදා දීමට පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක රංග දසනායක මෙහිදී පැවසූයේ, නොවැම්බර් මාසයේදී මහා සභා රැස්වීම පැවැත්වෙන තෙක් මෙම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
යෝජිත ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට එවැනි පෞද්ගලික සාද, ප්‍රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණවලට අදාළ කර්තෘ භාගය ගෙවීම අදාළ උත්සවයේ හිමිකරුගේ වගකීමක් වන බවද රංග දසනායක මෙහිදී පෙන්වා දුන්නේය.
