පොලිස් Body Camera ටෙන්ඩරය වංචා සියල්ල එලියට! ලංසු කෝටි 5 සිට කෝටි 36 දක්වා? ටෙන්ඩරය හැදුවේ ChatGPT එකෙන්!
1 min read
පොලිස් නිලධාරීන් සඳහා ශරීර කැමරා (Body Cameras) 500ක් මිලදී ගැනීමට ආරම්භ කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බරපතළ අක්‍රමිකතාවක් සිදුවීමේ සැකයක් පවතින බව ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ පවසයි.
අද (27) නුගේගොඩදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පොලිස් නිලධාරීන්ට ශරීර කැමරා ලබාදීම අවශ්‍ය සහ සාධනීය පියවරක් වුවද, ඒ සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න පවතින බවයි.
පොලිස් ස්ථානවලින් පිටත රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ශරීර කැමරා ලබාදීම පමණක් නොව, පොලිස් ස්ථාන තුළද ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිත කළ යුතු බව මුදලිගේ පැවසීය. පොලිස් භාරයේ සිටින පුද්ගලයන්ට පහරදීම සහ වධහිංසා පැමිණවීම පිළිබඳ චෝදනා වාර්තා වන පසුබිමක එවැනි ක්‍රමවේද ජනතාවගේ මෙන්ම පොලිස් නිලධාරීන්ගේද ආරක්ෂාවට වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, අදාළ ටෙන්ඩර් ලේඛනය සහ එහි තාක්ෂණික පිරිවිතර නිසි ආකාරයෙන් සකස් කර නොමැති බවට ඔහු චෝදනා කළේය.එම ලේඛනය කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිතයෙන් සකස් කර ඇති බවට සැක මතුවන ආකාරයේ සලකුණු එහි පවතින බවත්, එසේ AI මෙවලමක් භාවිත කර තිබුණේ නම් අවම වශයෙන් අවසන් ලේඛනය තාක්ෂණික විශේෂඥයන් විසින් නැවත සමාලෝචනය කළ යුතුව තිබූ බවත් ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා පොලීසියේ සැබෑ අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර වශයෙන් භාවිත වන තාක්ෂණික ප්‍රමිතීන්ද සැලකිල්ලට ගනිමින් පිරිවිතර සකස් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
ලංසු කෝටි 5 සිට කෝටි 36 දක්වා?
ටෙන්ඩරයට ඉදිරිපත්ව ඇති ලංසු අතර පවතින බව කියන විශාල මිල පරතරයද ප්‍රසම්පාදන ලේඛනයේ තාක්ෂණික පිරිවිතර පිළිබඳ ප්‍රශ්න මතුකරන බව මුදලිගේ පැවසීය.ඔහු ඉදිරිපත් කළ තොරතුරු අනුව, සමාගම් විසින් ඉදිරිපත් කර ඇති මිල ගණන් රුපියල් කෝටි 5ක පමණ සිට රුපියල් කෝටි 36ක් පමණ දක්වා පරාසයක පවතී.
සාමාන්‍යයෙන් සමාගම් අතර ලංසු මිලෙහි වෙනස්කම් ඇතිවිය හැකි නමුත් මෙතරම් විශාල පරතරයක් ඇතිවීමට හේතුව කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.එමෙන්ම රජයට අයත් ටෙලිකොම් සමාගමක් රුපියල් කෝටි 17ක පමණ ලංසුවක් ඉදිරිපත් කර ඇති අතර, එයට සම්බන්ධ මොබිටෙල් සමාගම රුපියල් කෝටි 6කට ආසන්න ලංසුවක් ඉදිරිපත් කර ඇති බවද මුදලිගේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
මෙම මිල ගණන්වල පරතරය, අවශ්‍ය උපකරණවල තාක්ෂණික විශේෂාංග සහ ප්‍රමිතීන් ප්‍රසම්පාදන ලේඛනය තුළ ප්‍රමාණවත් ලෙස නිශ්චිත කර නොතිබීමේ ප්‍රතිඵලයක් විය හැකි බවට ඔහු සැක පළ කළේය.
“කැමරා 500 නියමු ව්‍යාපෘතියක්ද?”
ව්‍යාපෘතිය යටතේ මුලින් මිලදී ගැනීමට නියමිත කැමරා සංඛ්‍යාව 500කට සීමා කර තිබීම සම්බන්ධයෙන්ද ඔහු ප්‍රශ්න කළේය.එය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කර, එහි ප්‍රතිඵල ඇගයීමෙන් පසු රට පුරා පුළුල් කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළක්ද යන්න රජය පැහැදිලි කළ යුතු බව ඔහු පැවසීය.
එසේ නොමැති නම් මුලින් කුඩා කැමරා ප්‍රමාණයක් මිලදී ගෙන, පසුව එම සැපයුම්කරුගෙන්ම විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට මාර්ගය සකස් කිරීමේ උත්සාහයක් තිබේදැයි සැකයක් ඇතිවන බවද මුදලිගේ කියා සිටියේය.
ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ගැනත් ප්‍රශ්න
කැමරා සඳහා අවශ්‍ය අන්තර්ජාල සහ දත්ත සන්නිවේදන පහසුකම් ලබාදෙන ආකාරය සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් අවශ්‍ය බව මුදලිගේ සඳහන් කළේය.මෙම වැඩපිළිවෙළ රජයේ පුළුල් ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ කොටසක්ද යන්නත්, එසේ නම් එහි ප්‍රසම්පාදන හා තාක්ෂණික අධීක්ෂණ ක්‍රියාවලිය කුමක්ද යන්නත් ඔහු ප්‍රශ්න කළේය.
රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සම්බන්ධ උපදේශක හාන්ස් විජේසූරිය සමඟ සබඳතා ඇති බවට ඔහු සඳහන් කළ සමාගමක් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී ඇත්නම්, එහි ළබැඳියාවන් අතර ගැටුමක් (conflict of interest) පවතින්නේද යන්න විමර්ශනය කළ යුතු බවද මුදලිගේ කියා සිටියේය.
කෙසේ වෙතත්, මෙම මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළ ටෙන්ඩර් මිල ගණන්, තාක්ෂණික ලේඛන සම්බන්ධ චෝදනා සහ ළබැඳියාවන් අතර ගැටුමක් පිළිබඳ සැකය අදාළ රාජ්‍ය ආයතන හෝ නම් සඳහන් පාර්ශ්ව විසින් ස්වාධීනව තහවුරු කර ඇති බවට මෙහි තොරතුරු ඉදිරිපත් වී නොමැත.
මෙවැනි තත්ත්වයක් තුළ දැනට පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම වෙනුවට එය පුළුල් තාක්ෂණික සමාලෝචනයකට ලක්කර, ස්වාධීන විශේෂඥ උපදේශනය ලබාගෙන විධිමත් හා විනිවිදභාවයෙන් යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බව වසන්ත මුදලිගේ අවධාරණය කළේය.
- රකිත රඹුක්වැල්ල
