September 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22කට හෘදය සාක්ෂියට එකඟව ඡන්දය දෙන්න ඉඩ දෙන්න – BASL දේශපාලන පක්ෂවලින් ඉල්ලයි

1 min read

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම හෘදය සාක්ෂියට එකඟව අදහස් ප්‍රකාශ කිරීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නිදහස ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව පවසා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120, 121 සහ 123 වගන්ති අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී ඇත්තේ පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අවශ්‍යතා විශේෂයෙන්ම 83 වන වගන්තිය යටතේ ජනමත විචාරණයක් අවශ්‍යද යන්න නිශ්චය කිරීමේ අධිකරණ බලය පමණක් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එබැවින්, මෙම තීරණය යෝජිත සංශෝධනය සාධනීයද, උචිතද, නැතහොත් පාර්ලිමේන්තුව විසින් එය සම්මත කළ යුතුද යන්න පිළිබඳ දේශපාලන හෝ ප්‍රතිපත්තිමය තීරණයක් නොවන බව එහි අවධාරණය කර ඇත.

ජනප්‍රිය පුවත්  ධවල මන්දිරය අසල වෙඩි තැබීම සිදුකළ සැකකරු ගැන තොරතුරු හෙළිවෙයි

දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වසර 48 ක ඉතිහාසය තුළ, ව්‍යවස්ථානුකූල අවශ්‍යතා සපුරාලන ලද නමුත් ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ සංශෝධන රැසක් පැවති බව නීතිඥ සංගමය සිහිපත් කරයි.

එබැවින්, යෝජිත සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතුද යන්න තීරණය කිරීමේ දැවැන්ත වගකීම දැන් පාර්ලිමේන්තුවට සහ ඡන්දය ප්‍රකාශ කරන සෑම මන්ත්‍රීවරයෙකුටම පැවරී ඇති බව එම නිවෙදනයේ සඳහන් වේ.

මෙම සංශෝධනය හඳුන්වාදීමේදී විනිවිදභාවයේ සහ විධිමත් උපදේශන ක්‍රියාවලියක අඩුවක් පැවති බව පෙන්වා දෙන නීතිඥ සංගමය, ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, කතෝලික රදගුරු සම්මේලනය, වෘත්තීය සමිති සහ සංගම් 40 කට අධික සංඛ්‍යාවක් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන විසින් පළ කර ඇති කරුණු කෙරෙහි මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු විය යුතු බව පවසයි.

අවසාන වශයෙන්, ජනතාවගේ නියෝජිතයන් වශයෙන් තම ව්‍යවස්ථාමය වගකීම සහ ශ්‍රී ලංකාවේ ස්වෛරී ජනතාව වෙත ඇති යුතුකම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින්, පක්ෂ භේදවලින් තොරව ප්‍රතිපත්ති ගරුක ස්ථාවරයක පිහිටා කටයුතු කරන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් කියා සිටියි.

ජනප්‍රිය පුවත්  හරිනිට දිගටම ප්‍රහාර !

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x