කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථයත් සමග අතුරුදන්..
1 min read
කඩදාසි සංස්ථාවේ සභාපතිවරයාගේ රියදුරු කැබ් රථයත් සමග අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වැල්ලවත්ත පොලිසිය සඳහන් කරයි.
අතුරුදන් රියදුරු කොළඹ 06 ස්ටැෆ්ඩ් පාර ප්‍රධාන කාර්යාලයේ සිට සභාපතිවරයා කාර්යාලය වෙත රැගෙන ඒම සඳහා කඩවත පිහිටි ඔහුගේ නිවස වෙත යමින් සිටියදී අතුරුදන්ව ඇති බවයි පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන් වෙන්නේ.
කැබ් රථය නියමිත වේලාවට සභාපතිවරයාගේ නිවස වෙත නොපැමිණීම හේතුවෙන් සභාපතිවරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී රියදුරුගෙන් ඒ පිළිබඳ විමසීමේදී රථයේ ඉන්ධන කාන්දුවක් ඇති බවට දැනුම් දී තිබූ බව පොලිසිය පවසයි.
වාහන අලුත්වැඩියා කරන කඩවත ප්‍රදේශයේ ස්ථානයක් පිළිබඳ පවසා එම ස්ථානයට කැබ් රථය රැගෙන ගොස් පෙන්වන ලෙස සභාපතිවරයා රියදුරුට උපදෙස් ලබා දී ඇති අතර, රියදුරු එම ස්ථානයට ගොස් කැබ් රථය පෙන්වා ඇති බවත්, කිසිදු දෝෂයක් නොමැති බවට එම ස්ථානයේ කාර්මිකයන් විසින් රියදුරුට පවසා තිබූ බවත්, සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
පෙරේදා (21) සවස 04.00 පමණ වනතුරුත් රියදුරු කාර්යාලය වෙත නොපැමිණි බැවින් දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරූවද ඔහුගේ දුරකථනය ඒ වන විට විසන්දි වී තිබූ බව රියදුරුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කඩදාසි සංස්ථාවේ ප්‍රවාහන කළමනාකරු වන සමන් ප්‍රියංකර ප්‍රනාන්දු කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
රියදුරුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා සහ සීසීටීවී දර්ශන ඔස්සේ මෙන්ම පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකිරීමට නියමිත බව සඳහන්.
අතුරුදන් වූ රියදුරු රාගම කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
