ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බවුසර් මගින් ජලය ලබාදීමට සැලසුම්
1 min read
දැනට ඇතිවී ඇති එල්නිනෝ තත්වය තුළ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉදිරි දිනවල ඇති විය හැකි බවට හැඟවෙන පානීය ජල හිඟයට බවුසර් මගින් ජලය ලබාදීමට මේ වන විට සැලසුම් සකස් කර ඇතැයි ත්‍රිකුණාමලය දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතා අද (23) කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.
මේ අනුව පානීය ජල ගැටළුවට මුහුණ දීමට සිදුවන බවට නිගමනය කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන වෙරුගල් පවුල් 350 ක්, සේරුනුවර පවුල් 400 ක්, මූතූර් පවුල් 500 ක්, කින්නියා පවුල් 600 ක් සදහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සතු ජල බවුසර් 37ක් යොදා ගැනීමට සැලසුම් සකස් කර ඇති බව දිසාපතිවරයා සදහන් කරයි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ජල බවුසර් 61 ඇති අතරින් එල්නිනෝ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් පානීය ජලය ලබාදීම සඳහා ආරක්ෂක අංශ සතු ජල බවුසර් ලබා ගැනීමටත් ඉන්ධන ප්‍රතිපූර්ණය කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා සිදුකිරීමටත් සියල්ල සූදානම් කර ඇති බව දිසාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.
